Social Icons

Pages

Wednesday, November 7, 2018

සිත නිවාගන්න



සඳ ඇති රාත්‍රියක නිසංසල තැනක හිඳගෙන සඳ දෙස බලා සිටින විට, සඳෙහි කිසියම්  චමත්කාරයක් මනසට දැනෙන්න පටන් ගනීවි. සඳඑළිය සෞම්‍ය බවට මනස කියාවි. සඳඑළිය මුදු බව මනස කියාවි.සඳ ඇති රාත්‍රිය ආනන්දනීය බවට මනස කියාවි. එසේ සිතෙන විට නොදැනුවත්ම සඳ කෙරෙහි කැමැත්තක්, පහන්බවක්, ඇලෙන බවක් දැනේවි.



එහෙත්...මනසට දැනුන ඒ කිසිවක් සැබැවින්ට සඳට හෝ ඇහැට අයත් නැති බව සමාධිමත් මනසකට දැනේවි. සඳයි ඇසයි එකතු වීමෙන් පෙනෙන බව පමණක් ඇති තැනක මනසෙහි හටගත් සිතිවිලි ටික සඳටයි ඇසටයි ගැට ගැසූ නිසා සඳ ඒ විදියට බලන්නට ඇවැසි ඇස උපදවා ගන්නට කැමැත්ත (ඡන්දරාගය) විසින් කටයුතු කරාවි.
දැන් හොඳින් එය විමසා බැලුවොත් කැමැත්ත, ආශාව, ඇලීම ඇති උනේ සදට නොව සඳ නිසා මනසෙහි උපන් විතර්ක ටිකට බවට  වැටහේවි. එසේ විතර්ක ඇතිවූයේ මනසිකාරය නිසා බවද වැටහේවි. 
ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා  "සංකප්ප රාගො පුරිසස්ස කාමො" කියල. සංකල්පමය වශයෙන් මනසේ ඇතිවන රාගයට හෙවත් ඇලීමටයි කාමය කියන්නෙ කියලා. එසේ නම් උත්තරයක් එනව නේද අපි කැමති වෙන්නෙ, ඇලෙන්නෙ, බැදෙන්නෙ අපේම මනසේ සංකල්ප සිතිවිලි විතර්ක වලට මිසක බාහිර යමකට නොවන බව.

එසේ නිසංසලව සඳ දෙස බලාසිටින විට, එක්වරම බල්ලෙක් උඩුබුරලන හඬින් සියල්ල මොහොතකට සසල වී යනවා. රැහැයියන්ද එකවර ගෝෂාව නගනවා. මහා මූසල හඬක්.. මනස කියනවා. මෙච්චර නිශ්ශබ්දව තිබුන පරිසරය නිහඩබව මේ තිරිසනා විසින් විනාශ කලා...හොයාගෙන ගිහින් කකුලක් කැඩෙන්න ගහන්න හිතෙනවා..මනස වේගයෙන් විතර්ක ගොඩ නගාවි. කණට ඇසුනු නිහඬ බව නම් ශබ්දය, උඩුබුරලෑම නම් හඬින් විපරිනාමය වෙද්දී, මනසේ හටගත් සිතිවිලි ටික විදුලි වේගයෙන් කනටත් ශබ්දයටත් ගැට ගසන අපූරුව හොඳින් සිහියෙන් බැලුවොත් පෙනේවි.
මනසේ ඇති විතර්ක සිතිවිලි චේතනා කිසිවක් කනටත් ශබ්දයටත් අයිති නැහැ කියන ඇත්ත එවිට දැනේවි. සංකල්පමය වශයෙන් ඇතිකරගත් කැමැත්ත විපරිනාමය වන විට වෙනත් ස්වරූපයකට අනාත්මව පෙරලෙන විට සංකල්පයමය වශයෙන්ම අකමැත්ත පහළවන අයුරු දැකගන්නට පුලුවන් වේවි. 
එතකොට ඇත්තම ඇත්ත එසේම තිබියදී, සංකල්පමය වශයෙන් සාදාගත් ඇත්තකට ඇලෙන අයුරු හෝ ගැටෙන අයුරු කෙතරම් පැහැදිලිව පෙනේවිද?
ලෝභ ද්වේශ මෝහ විසින් ආයතන හය හමුවේම මේ නැවත සකස් කිරීම සහ ඒ අරභයා ක්‍රියාත්මක වීම සිදුකරනවා.
ඒ නිසා බුදුගුණ භාවනාව තුලින් මේ ඇත්ත දැකගත හැකි කමටහනක් තිබෙනවා.
"මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේ
  ඇසින් රූප දැක
  ඒ රූප කෙරෙහි
  නොඇලුන සේක..නොගැටුනු සේක..මුලා නොවුනු සේක"
මෙලෙස බුදුගුණ භාවනාව ආයතන හයටම අදාලව මෙනෙහි කරද්දී වඩද්දී, ප්‍රඥාව ඇති කෙනාට ආයතන හයේ ඇත්තත්, ඇලීම සහ ගැටීම ඇතිකරවන ලෝභයේ සහ ද්වේශයේ හටගැනීමත්, එයට හේතුව වූ මෝහයත් මනාව වැටහෙන්නට පටන් ගන්නවා. 
එතකොට මුලා නොවන්නේ. ඇසට පෙනෙන, කනට ඇසෙන දේවල් වල ඇත්තම ඇත්ත නම්, මනසින් හදාදෙන විතර්කටික නොවන බවත්, එසේනම් මනසින් හදාදෙන විතර්ක ටික, සිතිවිලි ටික, කිසිදා බාහිර අරමුණ තුල නොපවතින බවත් ප්‍රත්‍යක්ෂ වන නුවනටය. ඒ නිසා න්‍යායයක් ඇතිවෙනවා
" සත්‍යය වශයෙන් තියෙන දේ පෙනෙන්නෙ නැහැ
   පෙනෙන දේ සත්‍ය වශයෙන් පවතින්නෙ නැහැ " කියලා.
එතකොට මෝහය දුරු වෙලා ඉවරයි. එතකොට සිතෙන් සිතන දේ බාහිර ඇතැයි කියන මෝහය නැහැ. එවිට නිත්‍ය සුඛ ආත්ම වූ කිසිවක් ඇතුලතත් නැහැ පිටතත් නැහැ, තිබෙනවා නම් තිබෙන්නෙ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ධර්මතා ටිකක් බව වැටහේවි.එවිට ඇත නැත යන අන්තයද ගිලිහිලා.
මේ විදියට සියලු ආයතනයන් අරභයා මනසිකාරය ඇතිවුවහොත්, ආයතන හයේ ඇත්තත්, පුනර්භවය සදන්නාවූ ලෝභ ද්වේශ ඇතිකරවන මෝහයේ සැබෑ ස්වරූපයත් දැනගන්නට හැකි වෙනවා.
දැන් යමෙක් විසින් යමෙකුට නින්දා කලත්, ප්‍රශංසා කලත්, එසේ කරන කෙනාද, එය පිලිගෙන ඇලෙන ගැටෙන කෙනාද එසේ සිදුකර තිබෙන්නේ ස්වකීය මනස බාහිර අරමුණට ගැටගැසූ බව පමණක් මිස, ඒ නින්දාවද, ප්‍රශංසාවද තමාට අයත් ධර්මතාවයක් නොවන බවට නුවණක් ඇති කරගන්නවා පමණක් නොව, ඒ ධර්මතාවයන් හමුවේ නොසැලී සිටින්නට දර්ශනයකට පැමිණෙනවා. එයා දර්ශනභූමියට පැමිනි කෙනා වෙනවා.
ඒ වගේම යමෙක්ව වර්නනා කරනවාද, යමෙකුට අභූතයෙන් නගා නින්දා කරනවාද, ඒ සියල්ලම එසේ කරන්නාගේ මනසේ ගති ටිකක් මිසක, විතර්ක ටිකක් මිසක, බාහිර ඇති කිසිදු අරමුණක සත්‍යය වශයෙන් තිබෙන්නාවූ දෙයක් නොවන වගද, ඒ කිසිවක් බාහිර අරමුණට අයත් නොවන බවද ප්‍රඥාව ඇති කෙනා තේරුම් ගන්නවා. ඒ නිසා
"මාගේ ස්වාමි වූ බුදුරජාණන් වහන්සේ
  කනෙන් ශබ්ද අසා
  ඒ ශබ්ද කෙරෙහි 
නොඇලුන සේක..නොගැටුනු සේක..මුලා නොවුනු සේක"

සූවිසි ගුණය යනු නිවනට පෙරමගයි. බුදුන් දැක නිවන් ලබන තැනයි. මේ විදියට බුදුගුණ කමටහනද, බුදුගුණ විදර්ශනාවද යම් විදියකට වඩන්නට හැකි නම්, ශ්‍රද්ධා වීරිය සුත ඡාග පඤ්ඤා නම් බල ධර්මයන් තුල යමෙකුට යම් පමණකට හෝ කය වචනය මනස හික්මවා ගන්නට පුලුවන්. 
සටහන
jayantha colombage  

No comments:

 
Blogger Templates