Social Icons

Pages

Monday, November 26, 2018

වචනය කැඩපතකි.


වචනය යනු මානව ශිෂ්ඨාචාරයේ ප්‍රබලතම සන්නිවේදන මාධ්‍යයි. ශබ්දය මුල්කරගෙන ඇති කරවන යම් යම් අර්ථගැන්වීම් තුල තිරිසන්ගත සත්ත්වයා පවා එකිනෙකා හා සන්නිවේදනයේ යෙදෙති. තිරිසන්ගත සත්ත්වයාට වඩා වචනය යන දෙය මිනිසාට ප්‍රබල අවියකි. ප්‍රබල සාධකයකි. සම්මුතියේදී මිනිසා යමක් ඉගෙන ගන්නේද උගන්වන්නේද වචනය නම් ප්‍රබල සාධකය උපකාරයෙනි. දහමේ සඳහන් පරිදි පරතොඝොෂය නමින් හැඳින්වෙන්නේද වචනයේ උපකාරයෙන් නිවනට යන මගට පිවිසෙන ආකාරයයි.

පුද්ගලයන් වශයෙන් ගතහොත් වචනය යනු කෙනෙකුගේ චරිතයේ කැඩපතයි. ඔහුගේ පුද්ගලභාවය මැනිය හැකි හොඳම නිර්නායකය වචනයයි. දහමේ එන මූලික න්‍යායයන් පිලිබඳ දැනුමක් ඇත්තාට යමෙක් කියන වචනය තුලින් ඔහුව හෝ ඇයව මැන ගැනීම එතරම් අපහසු නැත. එය දහමේ ආශ්චර්යයක් මිස පුද්ගලයාගේ දක්ෂකමක්ම නොවනු ඇත. 
කෙතරම් උගතෙක් උවත්,කෙතරම් ධනවතෙක් වුවත්, කෙතරම් බලවතෙක් උවත්,කෙතරම් ඉහළ තලයේ කෙනෙක් වුවත්, කෙතරම් පහළ තලයේ වුවත්, ඔහුගේ උස්මිටිකම නොව ඔහුගේ හැදියාව,හික්මීම, ඍජුබව,අවංකබව, පිටතට ප්‍රකාශ වනුයේ වචනය නම් මාධ්‍යය හරහාය. කෙතරම් ධර්මය දැන සිටියාද, කෙතරම් ධර්මය කථාකලාද, ඔහු හෝ ඇය වචන භාවිතා කරන අකාරය අනුව ඔහු තුල ඇති හික්මීම සහ දහම තුල සිටින තැන බාහිරට ප්‍රකට වීම සිදුවේ. 
එමෙන්ම පුද්ගලයාගේ හැබෑ ස්වරූපය සඟවන්නටද වචන භාවිතයේ දක්ෂයාට හැකියාව තියෙනවා. වචන භාවිතයේ දක්ෂයා යනුවෙන් හැඳින්වූයේ සැබෑවටම හික්මීම ලද කෙනා නොව හික්මීම ඇති බව පෙන්වන්නට වචන හසුරුවන්නට දක්ෂ  තැනැත්තාය. එසේ හික්මීම ප්‍රදර්ශනය  කරනු ලබන කෙනාද නොහික්මුනු අයෙක් බව දැනගැනීමට ඒ තැනැත්තාගේ සමස්ථ වචන භාවිතාවම උපකාරි වෙනවා. යමෙක් කියන බොරුව, යමෙක් කියන හිස්වචනය ඔහුගේම තවත් එකදු වචනයකින් හෝ හෙළිදරව් වන බව සිහියෙන් ඇහුම්කන් දෙන අයට මනාව වැටහෙනවා.

”පඤ්චහි භික්ඛවෙ අංගෙහි සමන්නාගතා වාචා සුභාසිතා
හොති නො දුම්භාසිතා අනවජ්ජා ච අනනුවජ්ජා ච විඤ්ඤුනං.
කතමෙහි පඤ්චහි ? කාලෙන ච භාසිතා හොති, සච්චා ච
භාසිතා හොති, සණ්හා ච භාසිතා හොති, අත්‍ථසංහිතා ච භාසිතා හොති, මෙත්ත චිත්තෙන ච භාසිතා හොති.”
“මහණෙනි, අංග පසකින් යුත් වචනය සුභාෂිත නම් වේ, දුර්භාසිත නම් නොවේ. නිරවද්‍ය ද වේ. නුවණැත්තන් විසින් දොස් නොකිය යුත්තේ ද වේ. කවර පසකින්ද යත් ?
 සුදුසු කාලයෙහි කීමය, 
සත්‍ය වූවක්ම කීමය
මොළොක් වූවක්ම කීමය
අර්ථ සහිත වූවක්ම කීමය, මෛත්‍රී සිතින් කීමය.

මනුෂ්‍ය ජීවිතයේදී ඔවුනොවුන් අතර විවිධාකාර වූ සම්බන්ධතා ගොඩනගාගෙන ජීවත් වන මානවයන් විසින් එකී සම්බන්ධතා වඩ වඩාත් තහවුරු කරගැනීම පිණිස ඇති කරගත යුතු, පවත්වාගත යුතු ඉතා උසස් ගුණධර්‍ම සතරක් ලෙස සතර සංග්‍රහ වස්තු හඳුන්වාදිය හැකිය. දානය, පි‍්‍රයවචනය, අර්ථචරියාව හා සමානාත්මතාව යන එම ධර්මතා හතර මෙලොව එකිනෙකා කෙරෙහි සුදුසු පරිදි පැවතිය යුතු ආකාරය දහමෙහි කියා දෙයි.
දානං ච පෙය්‍යවජ්ජං ච
අත්‍ථචරියා ච යා ඉධ
සමානත්තා ච ධම්මෙසු 
වචනය තුල හික්මෙන කෙනා හික්මෙන්නේ වචනයෙන්ම පමණක්ම නොවෙයි. වචනය තුල හික්මෙන කෙනා ස්වකීය ජීවිත පැවැත්ම තුලද හික්මෙන කෙනෙක් වෙනවා.  මෙහි දී උජූ ච යන්නෙන් ඍජු අවංකවීම ද, සූජූ ච යනුවෙන් මැනවින්  ඍජු අවංක වීම ද  දක්වා ඇත. ඇත්තෙන්ම අවංකවීම යනු තමාගේ යහපත් ප්‍රතිපත්තීන් කිසිම බලපෑමක් නිසා යටත් නොකොට ඍජුව පවත්වාගෙන යාමයි. 
අවංකබව,ඍජුබව, සත්‍යය වචනය නිසා යමෙකුට බොහෝ බාහිර දේවල් අහිමි වන්නට පුලුවන්. එහෙත් අභ්‍යන්තරයෙහි ගොඩනැගෙන ගුණධර්මයන් එයිට වඩා බලවත් වෙනවා. එම නිසා බාහිර ලෞකික වශයෙන් ගොඩනැගෙන දේට වඩා වටිනා යමක් අභ්‍යන්තරික වශයෙන් කෙනෙකුගේ අධ්‍යාත්මික දියුනුව පිණිස ඇති වෙනවා.
මෙහිදීද අර සතරසංග්‍රහ වස්තූන් බලවත් සාධකයක් වෙනවා. පරිත්‍යාගයට ඇති කැමැත්ත සහ පරිත්‍යාගය සත්‍යය වශයෙන් වඩන කෙනා ඒ පරිත්‍යාගය තුල වචනය හික්මවා ගන්නවා. නොදෙන කෙනා වචනයෙන් පමණක් දෙන අයෙක් ලෙස කටයුතු කරනවා. දහම තුල ඔහුව හඳුනාගැනීම අපහසු නැහැ. 
සමානාත්මතාවයද වචනය කෙරෙහි බලවත් සාධකයක් වෙනවා. යමෙක් යම් යම් අය කෙරෙහි එක ආකාරයක්ද, යම් යම් අය කෙරෙහි තවත් ආකාරයක්ද සහිතව කටයුතු කරමින් වචනයෙන් සමානාත්මතාවය ඉක්මවා සුවචබවක්, කීකරුබවක්, වගේම වර්ණනාත්මක භක්තියක් ශ්‍රද්ධාවක් පෙන්වයි නම් ඒ තැනැත්තා කටයුතු කරන ආකාරය අනුව ඒ කෙනා තුල ඇති වංක භාවය මෙන්ම ඍජු නැති බවද නුවනැත්තා විසින් වටහා ගන්නවා.
සමහර අය තමා අවංක අයෙකු ලෙස අනුන්ට පෙන්වුව ද තමාට තමා අවංක නොවෙති. විශේෂයෙන්ම මැනවින් අවංකවීම යනුවෙන් අදහස් කරන්නේ තමා අනුන්ට මෙන්ම තමන්ටද අවංකව කටයුතු  කිරීමයි. එය එවිට ශීලයක් බවට පත්වෙනවා.
සැබෑ මිතුරා වගේ පෙනෙන ව්‍යාජ මිතුරා හඳුනාගැනීමටද වචනය ප්‍රබල සාධකයක් වෙනවා. සැබෑ මිතුරු වේශයෙන් සිටින එක් භයානක ව්‍යාජ මිතුරෙක් තමයි "වචීපරම" නම් මිතුරා. ඔහුව හඳුනාගන්නට යම් යම් ලක්ෂන ඔහු කෙරෙන් විද්‍යාමානයි. 
1.කිසිදු විටෙක ඔහු දොසක් නොකියයි. මිතුරා වර්ණනාම කරයි.
2.කිසිදු විටෙක ඔහු රළු නොවෙයි.වඩවඩාත් මුදු බවක් පෙන්වයි.
3. කිසිදු විටෙක ඔහු කිසිවක් බැහැ නොකියයි. එහෙත් නොකර සිටීමට ලස්සන ලස්සන හේතු දක්වයි.
4.සියල්ල දෙන බව අඟවයි.කිසිත් නොදෙයි. මිතුරාගෙන් ගතහැකි සියල්ල ගනියි.
5.ලඟ නැති තැන අන් අය හා මිතුරාගේ වැරදි කියයි. විවේචනය කරයි. දොස් දකියි.
6.වචනයෙන් පමණක් පණ වුව දෙයි. ක්‍රියාවෙන් කිසිත් නොකරයි.
මෙතැන මිතුරා යනුවෙන් හැඳින්වූ පදය තුල සැමියා,බිරිඳ, පෙම්වතා,පෙම්වතිය, නෑයා, හිතවතා,හිතවතිය මේ ආදිකොට ඇති සියලුම පුද්ගලභාවයන් ඇතුලත් වෙයි.
මිනිසුන් ඍජු නොවන හෙවත් වංක වන අවස්ථා හතරක් ධර්මයේ සඳහන් වෙයි. එනම් 
01. හිතවත්කම නිසා ඍජු නොවෙයි.
 02. ද්වේෂය නිසා ඍජු නොවෙයි.
03.බිය නිසා ඍජු නොවෙයි. 
04. නුවන නැති නිසා ඍජු නොවෙයි.  
පුද්ගලයන් වශයෙන් විවිධාකාර වූ ඇසුරු කිරීම් එකිනෙකා අතර සිදුවනවා. ඉතාම සමීප, මැදහත්, පොදු ආදී වශයෙන්. ඒ සෑම ඇසුරකදිම  අවංකවීම අත්‍යවශ්‍යය. වචනයේ දෝෂ සතරෙන් වෙන්ව සත්‍ය ම කතා කරන, තමා කළ දේ නොබියව ප්‍රකාශ කරන්නට හැකි අයකු විය යුතුය. කියන දේ කරන, කරන දේ කියන, කල දේ කියන, කිව් දේ කල නොසඟවන බව සහ මුලා නොකරන බව ඒ අවංකභාවයයි. සිතුවිලි කපටි නොවිය යුතුය. 

මෙහිදී අප තේරුම්ගත යුතු වටිනාම කරුණක් නම් කෙනෙකු ක්‍රියා කිරීමේදී අවංක විය යුතු බව පමණක් නොව නිවැරැදි විය යුතු බවයි. වචනය දුර්භාශිතයක් වන අවස්ථා කීපයක් තියෙනවා.
1.ස්වකීය වංකබව සඟවන්නට වචනයෙන් අවංකවීම යනු දුර්භාෂිතයකි.
2.ස්වකීය ඍජු නොවන බව, වැනෙනසුළුබව සඟවන්නට ඍජු වචනය කතාකිරීම දුර්භාශිතයකි.
3.බිය නිසා හෝ, මානය නිසා හෝ, ලජ්ජාව නිසා හෝ, ද්වේශය නිසා හෝ, ලෝභය නිසා හෝ, දෘශ්ඨිය නිසා හෝ දැන දැන සත්‍යය සඟවා කථාකිරීම දුර්භාශිතයක්ය.
4.ඍජුව අදහස් ප්‍රකාශ කරන්නට ඇති නොහැකියාව නිසා හෝ, අභ්‍යන්තරයේ ස්වභාවය සඟවා බාහිරෙන් ප්‍රතිරූපකයක් වීම පිණිස කතාකරන මුසාබස් දුර්භාශිතයක්ය.
5. කිව් දෙය නොකල, කල දේ නොකිව් තැන පිටකරන මුසාබස දුර්භාශිතයක්ය.
6.හිස් වචනය තුල සිටිමින්, සම්මා වාචාව ඇතිබව පෙන්වීමට දරණ උත්සාහය දුර්භාශිතයක්ය.
7.නොහික්මුණ වචනය, පරුෂ වචනය තුල සිටිමින් දහමෙහි හික්මුනු බව පෙන්වීමට දරන වාචික උත්සාහය දුර්භාශිතයක්ය.
8.අනාදරය තුල හිඳිමින් ආදරය පෙන්වීමට දරන වාචික තැත දුර්භාශිතයක්ය.
9. ද්වේශය තුල හිඳිමින් මෛත්‍රිය පෙන්වීමට දරන වාචික තැත දුර්භාශිතයක්ය.
10. මිථ්‍යා දෘශ්ඨිය තුල සිටිමින් සම්මා දිට්ඨිය පෙන්වීමට දරන වාචික තැත දුර්භාශිතයක්ය.
සමස්ථයක් වශයෙන් ගතහොත් ලෝභ ද්වේශ මෝහ මුල්කරගෙන යම් වචනයක් පිටකරන්නේද එය දුර්භාශිතයක්ය.සැඟවීමට යමක් ඇතිද, සැඟවීම පිණිස සත්‍යය නොවූ යම් වචනයක් පිටකරයිද එය බලවත් දුර්භාශිතයකි. යමෙකු මුලා කිරීම පිණිස, රැවටීම පිණිස, රිදවීම පිනිස, එකටඑක කිරීම පිණිස යම් වචනයක් කියයිද එය නොහික්මුන බවේ ලක්ෂණයකි.
මේ නිසා වචනය යනු බලවත් අවියකි. වචනය යනු බලවත් සාධකයකි. නුවණ ඇති කෙනා වචනය තුල ඇති සියල්ල කැඩපතකින් දකිනවා මෙන් දැකගන්නට සමර්ථ වෙයි.
-සටහන-
-jayantha colombage-

No comments:

 
Blogger Templates