Social Icons

Pages

Saturday, February 11, 2017

ලෝකයේ අන්ත දෙකකි



ලෝකයේ අන්ත දෙකකි

ලෝකයේ අන්ත දෙකකි. ශාස්වතය සහ උච්ඡේදය යනුවෙන් එය හැඳින්නේ. ලෝකයා මෙම අන්ත දෙකම ඇසුරු කරගෙන තන්හා දිට්ටි මානයෙන් යුක්තව අවිද්‍යාවෙන් කටයුතු කෙරෙති. 
“ද්වයං නිස්සිතො ඛො යං කච්චාන ලොකො යෙභුය්‍යෙන අත්ථිතඤෙච්ච නත්ථිඤ්ච. “
කච්චායනය..මේ ලෝකයා ශාස්වතයද, උච්ඡෙදයද බෙහෙවින් ඇසුරු කලේ වේ. 
“ ලෝක සමුදයං ච ඛො කච්චාන, යථාභූතං සම්පඤ්ඤාය පස්සතො යා ලොකෙ නත්තිතා ,සා න හොති“


නමුත් ලෝකයේ හට ගැනීම හෙවත් ලෝක සමුදයද, ලෝකයේ නැතිවීම හෙවත් ලෝක නිරෝධයද තත් වූ පරිද්දෙන් මනා නුවනින් දකින කෙනාට ලෝකයේ යම් ශාස්වත බවක්(නිත්‍ය බව) තියෙයිද, එය එසේ නොවෙයි කියා වැටහෙයි. ලෝකයේ යම් උච්ඡේද බවක් ( කිසිවක් නැත) කියා තියෙයිද, එය එසේ නොවෙයි කියා වැටහෙයි.

සාමාන්‍ය ව්‍යවහාරයේ විඤ්ඤාණවාදය සහ භෞතික වාදය කියා කියන්නේ එබඳු දෘශ්ඨීන් වලටය. එය විවිධ විවාද වලට පටලැවුනු, විවිධ මතවාද වලට ලක්වූ, ලෝකය සහ විශ්වය පිලිබඳව පඹගාලක පටලැවුනු ඒ නිසාම මුලුමහත් මානව සමාජයම කනපිට හැරවුවා වූ චින්තයන්ය. එ් දෘශ්ඨීන් දෙකෙහිම මනස නිවීමකට ලක් නොවනු ඇත. 

කුමක්ද මේ අන්ත දෙක? කුමක්ද මේ මතවාද දෘශ්ඨීන් දෙක? 
“ඇත“ සහ “නැත“ යන අන්ත දෙකයි. කුමක් ඇති නැති බවද? විශ්වය තුල ජීවිත පැවැත්ම ඇත නැත යන බවයි. කෙසේ ඇති නැති බවද? මරණයට පෙරද මරණයෙන් මත්තේද ගමන් කරන නිත්‍ය වූ ආත්මයක් ඇත්තේය යන “ඇත“ යන අන්තයයි. එය ශාස්වතයි. මරණයට පෙරාතුවද මරණයෙන් මත්තේද කිසිවක් නැත්තේය සියල්ල මරණයත් සමග අවසන් යන “නැත“ නම් අන්තයයි. එය උච්ඡේද වාදය හෙවත් භෞතික වාදය නොහොත් නියත මිථ්‍යා දෘශ්ඨියයි.

මේ අන්ත දෙක තුලම හැසිරීම සදාචාර සම්පන්න බවට එහා ගිය පැවැත්මක් මනස විසින් පනවයි. කිසිවක් නැත යන දෘශ්ඨිය තුල මනස ක්‍රියාකරන්නේ මරණයට මත්තෙන් සියල්ල අත්විඳිය යුතුය, ඒ අත් විඳීම තුල කරන සියලු ක්‍රියා විපාක රහිතය, දුන් දේ වල කල කී දේ වල මත්තෙහි විපාක නැත අන්තයට වැටෙන මනස සියල්ල සුඛ විහරණය සඳහාම පවතී යනුවෙන් ගෙන “කාමසුකල්ලිඛානු“ බවට පත්වෙති. 
භවයෙන් භවයට යන නිත්‍ය වූ ආත්මයක් ඇත, එය මම වෙමි මගේ වෙයි මගේ ආත්මය වෙයි කියා දෘශ්ඨිගතව එකී ආත්මය පිරිසිදුව පවත්වා ගැනීම උදෙසා විවිධ සීලබ්බතයන් හමුවේ කයට දුක් පමුණුවති. දන්දෙති.සිල් රකිති.භාවනා කරති. 

මේ සියල්ලම බුදුන් වහන්සේ දුටුවේ අන්ත ලෙසටය. 
“ ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා. යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො, යොචායං අත්තකිලමතානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො“

එසේනම් මෙතැන උත්තරයක් එනවා පෘතග්ජන කියන පදය සමග. මෙම හීන වූ, ග්‍රාම්‍ය වූ, අන්ත දෙක පෘතග්ජනයාට මිස ආර්යයාට අයත් නොවන බවයි. මහා උගත්වූද, ධනවත්වූද, සුප්‍රසිද්ධ වූද, බලවත්වූද, විවිධ විද්‍යාවන් වල කෙල පැමිනි විද්‍යාඥයින්වූද, කවරෙකු වුත් මෙම අන්ත දෙක තුල නම් හේ හීන වූද ග්‍රාම්‍ය වූද පෘතග්ජනයෙක් බව නිසැක යැයි නෙවෙද මේ උත්තරය.

මේ විද්‍යාඥයින් පැවැත්ම උදෙසා එසේනම් සොරකම් නොකරයිද, ප්‍රාණඝාතයේ නොයෙදෙයිද, කාමයන්හි වැරදි ලෙස නොහැසිරෙයිද, බොරු නොකියයිද, සුරා පානය සහ මත්වීම නොකෙරෙයිද....මක්නිසාද යත්...සියල්ල මරණයෙන් අවසන් වේ යැයි මනස තුල ඇති දෘශ්ඨිය නිසා.

ඒ වගේම නිත්‍ය වූ ආත්මය දුකට පත් නොකර සැපවත් කරගැනීම සඳහා බලිබිලි නොදෙයිද, යාගහෝම නොකරයිද, යන්ත්‍රමන්ත්‍ර හදි හූනියම් ශාන්ති කර්ම නොකරයිද, නවග්‍රහයින් නොපුදයිද, බෝධිපූජා නොකරයිද, කයට දුක් දෙමින් පැය ගනන් සිතිවිලි බලෙන් නවත්ගෙන යම් අරමුණක කයට දුක් දිදී භාවනා නොකරයිද? ....මක් නිසාද නිත්‍ය වූ ආත්මයක් ඇතැයි මනස තුල ඇති දෘශ්ඨිය නිසාය.

බුදුන් වදාලේ කුමක්ද? අවිද්‍යාව පවතින තෙක් කර්ම පවතී. කර්ම රැස් වන තාක් පැවැත්ම හටගනියි. ජාති ජරා ව්‍යාධි මරණය. කුමක පැවැත්මක්ද? ස්කන්ධ පඤ්චකයක හට ගැනීම සහ නැතිවීම. ස්කන්ධ පවතින තාක්කල් සැපදුක් වේදනා ආදියද විවිධ සංඥාද ජීවිතය පවට පත්වේ. ජීවිතය සැපවත් කරන්නට ඒ සංඥා සහ සැපදුක් වේදනා උපදවන්නට චේතනා පහළ වේවි.. 
කර්ම දෙවර්ගයක් තියෙනවා. සුදු කර්ම සහ කළු කර්ම. සුදු කර්ම රැස් උනොත් සුගතියේද, කළු කර්ම රැස් උනොත් දුගතියේද ස්කන්ධ පඤ්චකය හටගන්නවා. එය මමය මාගේය මාගේ ආත්මය යැයි දැඩිකොට අල්ලා ගැනීම තුල නැවත කර්ම රැස්වීමද නැවත ඉපදීමද සිදු වෙනවා. 
කල යුතු වන්නේ සුදුද නොවන කළුද නොවන කර්ම මගින් කර්ම ක්ෂය කරගන්නා මගට බැස ගැනීමයි. එය සෝතාපන්න නම් වෙනවා. 

සටහන - jayantha colombage - 12.02.2017


No comments:

 
Blogger Templates