Social Icons

Pages

Tuesday, May 17, 2016

ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි


ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි
ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි
ඡත්තං මහන්තං යථවස්සකාලෙ
එසානිසංසො ධම්මෙ සුවිණ්ණො
න දුග්ගතිං ගච්චති ධම්මාචාරි ති...
ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ඒකාන්තයෙන්ම දිට්ඨධම්ම වශයෙන්ද, සම්පරායික වශයෙන්ද ධර්මය විසින්ම ආරක්ෂා කරනවා.ඒක හරියට වර්ෂාවක් වහින විට විශාල ඡත්‍රයක් එහෙම නැත්නම් කුඩයක් ඉහළාගෙන යන කෙනාට එයින් පිහිටක් ආරක්ෂාවක් තියෙනවා වගේ.මේ ධර්මය මැනවින් භාවිතා වෙන විට එහි අනුසස් වැඩිවෙනවා. ධම්මචාරි කෙනා අපාය දුගතියට වැටෙන්නෙ නැහැ.



පලමුවෙන් හිතන්න වෙනව ජීවිතය කියන්නෙ මොකක්ද, ජීවත් වෙනවා කියන්නෙ මොකක්ද, මොකටද ජීවත් වෙන්නෙ කියන දේවල්..
ඇත්තටම ඇයි අපි ජීවත් වෙන්නෙ. කුමක් සඳහාද ජීවත් වෙන්නෙ..
එතකොට ඒ ඒ කෙනාට උත්තර රාශියක් තියෙයි ඒ ප්‍රශ්න වලට
හොඳට  ඉගෙනගෙන, හොඳ රැකියාවක් කරල, හොඳ විවාහයක් කරගෙන, හොඳ ගෙයක් හදාගෙන, යානවාහන ඉඩකඩම් අරගෙන, මිලමුදල් හම්බ කරල,අඹුදරුවො එක්ක සතුටින් ජීවත් වෙන්න. දෙමව්පියන්ට සලකන්න.
එතකොට බලන්න මේ හැම තැනම තියෙන්නෙ සතුටින් ජීවත් වෙන්න ඕනෙ කියන උත්තරය එනවා.
එතකොට වේදනාව මුල් කරගත්ත අරමුණක් නේද මේ හැමතැනම තියෙන්නෙ.සැප වේදනාව.බුදුරජාණන් වහන්සේ වදාරනවා වේදනාවටයි සත්ත්වයා තන්හා කරන්නෙ කියල.වේදනා පච්චයා තන්හා
දැන් හොඳට බලන්න.ඒ බලාපොරොත්තු වෙච්ච සැප වේදනාව සඳහා විඳින්න වෙන්නෙ සැපද දුකද කියල?.ඉගෙනගන්න එක,රැකියාවක් කරන එක,විවාහ ජීවිතයක් ගතකරන එක,දරුමල්ලො රැකබලාගන්න එක, මිලමුදල් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් උපයා සපයා ගන්න එක.මේවා ලේසියෙන් සැපසහගතවද කරන්නෙ.
මිරිඟුව තියෙන තැනකයි වතුර පෙන්වන්නෙ. ඒ වගේ දුක තියෙන තැනකයි සැප කියල යමක් පෙන්වන්නෙ.
මිරිඟු දියෙන් පිපාසය නිවන්න බැහැ කොච්චර වතුර පෙන්නුවත්.ඒක සත්‍ය වශයෙන් වතුර නොවන නිසා.
ඒ වගේ දුක තියෙන තැනක පෙන්වන සැපෙන් සැප වේදනාව විඳින්න බැහැ ජීවිත කාලයම,   ඒක මිරිඟුවක් වගේ නිසා. සැප වගේ පෙන්නුවට ඒක ඇත්තම ඇත්ත සැප නොවන නිසා.
ඔන්න ඔය ඇත්ත නේද ජීවිතය කියල කියන්නෙ. මිරිඟු දියෙන් පිපාසය සන්සිඳෙන්නෙ නැ වගේ දුක ඇති දේ තුලින් සැප ගන්න බැහැ කවදාවත්. ඒකයි ඌනො ලොකෙ තන්හා දාසා කිව්වෙ.
තන්හාවට දාසයෙක් වෙන්නෙ ඇතිවීමක් නැති නිසා. ඇතිවෙන්නෙ කොහොමද නැති තැනකින්.
හිතුවට මෙතන  සැප ඇති කියල එතන තියෙන්නෙ මිරිඟුව වගේ දෙයක් විතරක් නම් පෙන්නනව විතරයි නම්....ඒක ස්පර්ශ කරන්න බැහැ. හිතට පෙන්නුව විදියෙ සැපක් නෙවෙයි එතන තියෙන්නෙ. පෙනපින්ඩුම සූත්‍රයෙදි පෙන්වන්නෙ ඒකයි
පෙන පිණ්ඩුමං රූපං - වේදනා බුබ්බුලූපමා
මරීචිකූපමා සංඥා  - සංඛාර කදලූපමා
මායුපමංච විඤ්ඤාණං
ඒක තමයි ඇත්තම ඇත්ත ජීවිතය..
පෙනුන,ඇසුන,දැනුන තැනක හිතපු සැප සොම්නස නෙවෙයි තියෙන්නෙ.

රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ අර උපමාවෙ විදියට ඇති වෙලා නැතිවෙලා යනව නම්, කැමති කැමති විදියට පවත්වාගෙන යන්න බැරි නම් එතන නිත්‍ය වූද,ආත්මවූද, කිසිවක් නැහැ.

අන්න ඒ හේතුවම දුකයි ඒවාට මම කියන අවිජ්ජා කෙලේසයද,මගේ කියන තන්හා කෙලේසයද යෙදෙන නිසා.එහෙනම් ජීවිතය කියන්නෙ වෙන මොකුත් නෙවෙයි මේ අනාත්ම ධර්ම පහ කෙරෙහි අවිජ්ජා තන්හා කර්ම කියන වට්ටමූලික කෙලෙස් පැවතීමයි.
දේශනාවේ ආරම්භය
.මෙය දුක්ඛ සත්‍යය සහ සමුදය සත්‍යය පිලිබඳ එන කරුනු දැක්වීමක්.
යම් කෙනෙක් සංයෝජනීය ධර්මයන්ගේ දෝෂය දකින්නෙ නැත්නම්,එයා කාමාදී ඕඝයන් තරණය කරනවා කියන කාරනාව යෙදෙන්නේ නැහැ. තරණය නොකරනවා එහෙම නැත්නම් ඕඝයන්ට අහුවෙලා ගහගෙන යනවා කියන කාරනාව නම් යෙදෙනවා.
එතකොට සංයෝජන ධර්මයන් බාහිර සංයෝජන අධ්‍යාත්මික සංයෝජන කියල දෙකක් හම්බවෙනවා.
මෙහිදී මේ කාමාදී ඕඝ කියන තැනදි සතර ඕඝයක් හමුවෙනවා. ඕඝය කියන්නෙ සැඩපහරට. එබඳු සැඩ පහර සහිත ඕඝයන් හතරක් දහමේ හමුවෙනවා.මේ සතර ඕඝයම සංසාරය දිහාට වේගයෙන් ගලාබසින සැඩ පහරක්.
1.කාම ඕඝය
2.දිට්ඨි ඕඝය
3.අවිජ්ජා ඕඝය
4. භව ඕඝය
අතීතයේ කොයිතරම් දිගු කාලයක් මේ සසර ගමනේ ඒ මේ අතට දුක්සහගත  විදියට, භයානක විදියට  ගසාගෙන ගියාද කිව්වොත් අපගේ  කිසිම පරමාර්ථයක්, ඉලක්කයක් නැති  ගමනේදී අපෙන් ඇදවැටිච්ච කඳුළු සහ ලේ වල ප්‍රමාණය සාගරයෙහි වූ ජල කඳ ඉක්මනවා කියලයි දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාරා තියෙන්නෙ.
මහණෙනි මේ මහා පොළෝතලය වේලිලා සම්පූර්ණයෙන්ම අතුරුදහන්වෙලා යාම කවදා හෝ සිදුවන නමුත් අවිද්‍යාවෙන් මුළාවෙලා, තණ්හාවෙන් වෙලීල, නැවත නැවතත් සංසාරයේ උත්පත්තිය ලබන තැනැත්තාට නම් දුකින් එතර වීමක් නෑ. මේ මහා පොළව  ගින්නෙන් පිච්චිලා විනාශ වී යාම කවදා හරි සිදුවන නමුදු අවිද්‍යාවෙන් මුළාවෙලා තණ්හාවෙන් වෙලීල  නැවත නැවතත් සසරෙහි උත්පත්තිය ලබන තැනැත්තාට නම් දුකින් එතෙරවීමක් නැහැ.
සසර පවත්නා බියකරු ස්වභාවය මින් අපට මනාසේ පැහැදිලි වේ.
එතකොට ඕඝ කියල මෙතන අදහස් වෙන්නෙ කාමයන් කෙරෙහි ඇති ඡන්දරාගය හෙවත් කැමැත්ත
ඒ කියන්නෙ අත්නොහැර දැඩිව අල්ලා ගැනීමෙන්, වැරදි දැක්මෙන්, හා අවිද්‍යාව හේතුවෙන්, ඒවා සම්බන්ධව හටගන්නා සිතිවිලි අපව යටකරගෙන පැවතින එකට. .එය හරියට සැඩපහරක් වගේ සත්ත්වයා යට කරගෙන යන්නෙ.
ප්‍රපංච යෙදෙන්නෙ මෙතැනට. මොනවද ප්‍රපංච කියන්නෙ.
1.කාම විතර්ක
2.ව්‍යාපාද විතර්ක
3.විහිංසා විතර්ක
ජීවත් වෙනවාය කියල කියන්නෙ මොකටද? කුමක් සඳහාද ජීවත් වෙන්නෙ? උත්තරය වෙන මොකුත් නෙවෙයි සැප විඳින්න කියන තැනක් හම්බවෙනවා. එහෙනම් වේදනාව මතයි සත්ත්වයා පිහිටලා තන්හා කරලා මේ සසර පැවැත්ම ගෙනයන්නෙ.
එහෙනම් ප්‍රපංච ගොඩ නැගීමමයි ජීවිතය කියන්නෙ. ඒ ගොඩනගපු ප්‍රපංච වලට යටවෙලා ඉන්න එකටමයි ජීවත්වෙනවා කියන්නෙ.
දැන් ඉගෙනගන්නවා,රැකියාවක් කරනවා, විවාහයක් කරගන්නවා,ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම්,මිල මුදල් කියල හම්බ වෙන්නෙ මොනවද? ප්‍රපංච...කාම විතර්ක නේද. මනසම නේද?
එතකොට සැමියා, බිරිඳ, දුව පුතා, අම්මා, තාත්තා, මිතුරා, සතුරා,කියල එන්නෙත ප්‍රපංචම නේද? මනසම හදපු සංඛාර නේද?
අවිජ්ජා පච්චයා සංඛාරා කියන තැන ඔය ප්‍රපංච ටිකත්, ඔය ප්‍රපංච අරභයා හිතන කියන කරන ටික කර්මත් කියල දකින්න.
එතකොට ප්‍රපංච  නිසා අවිජ්ජා තන්හා දෙක යෙදෙනවා. අවිජ්ජා කියන්නෙ හැමවිටම දිට්ඨි ක්ලේශයට. තන්හාව කියන්නෙ රූපයට පදට්ඨානයි කියන තැන. පදට්ඨාන කියන්නෙ ආසන්න කාරනයට. එතකොට රූපයට පදට්ඨානයි කියන්නෙ තන්හාව. ඒ කිව්වෙ කාම. එතකොට අවිජ්ජා කිව්වම” මම” කියල දිට්ටියෙන් ගන්නවා. තන්හා කිව්වම “මගේ “ කියල ගන්නවා.අධ්‍යාත්මික රූපය “මම වෙමි” කියල ගන්නවා. බාහිර රූපය “මගේ” කියල ගන්නවා.
එතකොට කාමෙසු සත්තා කියල කිව්වෙ පඤ්ච කාම ගුණයන්ට. ඒ කිව්වෙ රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ වලට. ඒවා කාම තන්හාවට පදට්ඨානයි. එතනදිත් වස්තුකාම ක්ලෙශ කාම කියන තැනදි හැමවිටම ක්ලේශ කාමය කාම තන්හාවට වැටෙනවා.
සංයොජනෙ වජ්ජම පස්සමානා කියන තැන අවිද්‍යාවට පදට්ඨානයි.
.සුඛ වේදනාව කිව්වාම තුන් වේදනාවම  දතයුතුයි.
වේදනා ස්කන්ධය ගත්තාම සියලු ස්කන්ධයන් ගත්තා සමාන වෙනවා.
වස්තුකාමය කියන තැන බාහිර ස්පර්ශ ආයනයන් බව දතයුතුයි.
එතකොට මෙහි මාගේ කියන්නෙ බාහිර සංයෝජනයි. මම කියන්නෙ අධ්‍යාත්මික සංයෝජනයි.
එතකොට අන්ත දෙකක් හම්බවෙනවා. මොකක්ද අන්ත දෙක??
ස්පර්ශ ආයතන ඉස්සරහට එන රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ කියන තැන එක අන්තයක්. ඒක පඤ්චස්කන්ධයි. දිට්ඨෙ දිට්ඨමන්තං සුතේ සුතමත්තං කියන තැන. එතන කෙලෙස් ප්‍රපංච නැහැ.
ඒ ස්පර්ශ ආයතන වලට ආව අරමුණු මනස තුල ප්‍රපංච හැටියට ගෙවල් දොරවල්, සැමියා බිරිඳ ආදී වශයෙන් අභිසංස්කරණය කිරීම අනෙක් අන්තයයි. එය මනෝ විඤ්ඤාණයයි.
එතකොට එතන තියෙන්නෙ කෙලෙස්. එතන තියෙන්නෙ පඤ්චඋපාදානස්කන්ධයි. අපි ජීවත් වෙනවා කියන්නෙත්, සැප හොයන්නෙත්, ඔන්න ඔතනින්. ඔතන මිරිඟුවක් කිව්වෙ වෙන මොකුත් නිසා නෙවෙයි.
ඇත්තටම ඔතන හිතන යමක් ඇත්තටම නැති නිසා. මිරිඟුව තියෙන තැනක වතුර පෙන්නුව වගේ. මනසින් හැදුව තැනක මනසින් හදපු සැපක්මයි පෙන්නුවෙ. ඇත්තටම එහෙම සැපක් ඔය අන්තයේ තියෙනවා නම්
සංඛිත්තෙන පඤ්ච උපාදානක්ඛන්ධා දුක්ඛා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නැහැ.
මොකද මේ පරිහරණය කරන ලෝකය තියෙන්නෙ මනස තුල නිසා. ඒ මනස හැබෑවක් ඇත්තක් කියල ගත්ත නිසා දුක එන්නෙ. මිරිඟුව තුල වතුර තියෙනවා ඒ වතුර බිව්වම පිපාසය නිවෙනවා කියන විපල්ලාසය වගේ තමා ඇහැ ඉස්සරහට ආව බාහිර රූප අරමුණ මගේ...ලස්සනයි...හොඳයි...මගේමයි...මට හැමදාම ඕනෙ...ආදී වශයෙන් ගැනීමම. මිරිඟුවට අතදාලා වතුර බොන්න හැදුවට ඇහැට පේන තැන....කවදාවත් දෝතට වතුර ගන්න හම්බවෙන්නෙ නැහැ.

ඒ වගේ මේ සැමියා බිරිඳ දුව පුතා යාන වාහන කියල අල්ලන්න අත දැම්මට අහුවෙන්නෙ මනස නෙවෙයි සතරමහා ධාතු ටික.
ඉතින් මනසින් හදල මනසින්ම මෙබඳු වේදනාවක් ලැබේවා කියල හිතුවට හතරමහා ධාතුව ඉක්මවන්න බැරි පහසක් නම් ලැබෙන්නෙ, රූපස්කන්ධය දුක තමයි. හෙව්ව සැප නැහැ. ලැබෙන්නෙත් නැහැ. මනස එක අන්තයක්. ඇහැ ඉදිරියට ආව අරමුනු එක අන්තයක් කිව්වෙ ඔය නිසා.

ස්පර්ශ ආයතන වල ඇත්තම ඇත්ත පිරිසිඳ දකිනවා කියන්නෙ දුක පිරිසිඳ දකිනවා කියලා.
සත්ත්වයා සංසාරෙ අනන්ත දුක් විඳ විද නොයෙක් නොයෙක් ජාති වල ඉපිද ඉපිද සැරිසරන්නෙ මෙන්න මේ එකම කාරනා හතරක් ප්‍රතිවේධ නොකල නිසා බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා.

ඒ තමයි චතුරාර්යය සත්‍යය ධර්මය නොදන්නා කම. මේකත් මෙහෙම ගන්න වෙනවා.මේ කාරනා හතර මේ විදියට මතක තියාගන්න.
1.           දුක්ඛ සත්‍යය තියෙන්නෙ පිරිසිඳ දකින්න
2.           සමුදය සත්‍යය තියෙන්නෙ ප්‍රහානය කරන්න
3.           නිරොධ සත්‍යය තියෙන්නෙ ශාක්ෂාත් කරගන්න
4.           නිරෝධ ගාමිනි ප්‍රතිපදාව තියෙන්නෙ වඩන්න.
එතකොට අපට මේ ගමන් මාර්ගය හම්බ වෙනවා අවස්ථා තුනකින්.

1.පර්ය්‍යාප්තිය
2.ප්‍රතිපදාව
3.ප්‍රතිවේධය.
පර්ය්‍යාප්ති දහම කියන්නෙ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනාකොට වදාල ශ්‍රී සද්ධර්මය ඇතුලත් ඒ තුන්පිටකය හා බැඳුනු දහම.ප්‍රතිපදාව කියන්නෙ ආර්යය අෂ්ඨාංගික මාර්ගය. ප්‍රතිවේධය කියන්නෙ අවබෝධය. .ප්‍රඥාවට..ඵලයට.
දැන් අර අන්ත දෙක ගන්න. මොකක්ද අන්ත දෙක. ඇසෙන් රූපයක් බලනවා කියන සිද්ධිය අරගත්තම, ඇහෙන් පෙනෙනවා දකිනවා කියන සිද්ධිය එක අන්තයක්. ඒ පෙනෙන දේ මත සිතනවා කියනවා කරනවා කියන්නෙ තව අන්තයක්.
ඇස කියන්නෙ පුරාණ කර්මයට අනුව හැදිච්ච දෙයක්. කණ නාසය දිව කය කියන්නෙත් පුරාණ කර්මයට අනුව හැදුනු දේවල් වලට. විපාක තමයි පෙනෙනවා ඇහෙනවා දැනෙනවා කියන ටික. ඒ කියන්නෙ දිට්ඨ,සුත,මුත්ත,විඤ්ඤාත කියන මට්ටම. ඒවා පඤ්චස්කන්ධයි. ඒක අන්තයක්. දකින දේ මත මනස ගැටගහන බව අනිත් අන්තය. ඒ කියන්නෙ ඇහැ ඉදිරියට ආවෙ අම්මා තාත්තා දූ පුතා කියන එක එක අන්තයක්. ඒක නවකර්ම.
පුරාන කර්මයෙන් දැක්ක දුටු දෙය,රූපය, දැන් අම්මා තාත්තා උනා. ඒ නිසා හිතන බව, කියනබව,කරනබව නවකර්ම. කර්ම.සංඛාර.
ඊටපස්සෙ ආයෙත් භවය සකස් වෙනවා ඒ සංඛාර වේදනා සංඥා සහිත ස්කන්ධ උපාදාන කලාම.
දැන් අම්මා තාත්තා දූ පුතා කාමයි. කැමතියි කියන අර්ථයෙන්ද සංකල්ප වශයෙන්ද කාමගුණ සහ වස්තුකාම ක්ලෙශකාමයි. අන්න අර මුලින් සඳහන් කල සංයෝජන දැන් මෙතනට එනවා.
බාහිර සංයෝජන තමයි අම්මා තාත්තා දූ පුතා.ඒ කෙරෙහි තියෙන ඡන්දය තමයි ඡන්දරාගය තමයි කැමැත්ත තමයි ඇලීම බැඳීම තමයි “මම” කියල අරගත්තම අභ්‍යන්තර සංයෝජනය. අවිජ්ජා කෙලේසය. දැන් අම්මා තාත්තා දූ පුතා කියන්නෙ “මගේ” කියන බාහිර සංයෝජනය. තන්හා කෙලේසය.ඔන්න අවිජ්ජා තන්හා කර්ම තුන නිසා භවය හැදෙන හැටි. අන්ත දෙක එකට ගැටගහපු ගමන් අවිජ්ජා කර්ම තන්හා කෙලෙස් ඇවිත් පුනර්භවය ඇති කරනවා.


ඒකයි කිව්වෙ
අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝ සි - පුන ගෙහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛය මජ්ක්‍ධගා

මේ සසර නොයෙක් වර මැරි මැරී ඉපදෙමින් සිරුර නම් ගෙය හදන වඩුවා සෙවුයෙමි. වඩුව මම ඔබ දිටිමි. හොඳින් හදුනා ගතිමි. නැවත තට මා නමින් ගෙයක් සෑදිය නොහේ. ගේ හදන උපකරණ සියල්ලම නැසූයෙමි. තණ්හාව නැති කළෙමි. විසංඛාරික වීමි.
මේ සසර කෙළවරක් වන්ට නම් තණ්හාව මුලුමනින් තුරන් කළ යුත්තේ ය.
එතකොට සසර භවගමන හැදුවෙ කවුද?තන්හාව. තන්හාවට ඉඩ දුන්නෙ කවුද.?
වේදනා පච්චයා තන්හා
පස්ස පච්චයා වේදනා
සලායතන පච්චයා ඵස්ස
නාමරූප පච්චයා සලායතන
විඤ්ඤාණ පච්චයා නාමරූප
සංඛාර පච්චයා විඤ්ඤාණ
අවිජ්ජා පච්චයා සංඛාර
උත්තරය ආවා නේද? තන්හාව නම් වඩුවාට සංසාරය භවය හදන්න උදව් කල ආම්පන්න ටිකයි ක්‍රමවේදයයි නෙවෙයිද මේ අහුවෙන්නෙ.
කායගතා සතිය සතරසතිපට්ඨානය හොඳින් වඩන්න හුරුකරගෙන සිහිය නුවන දෙක යෙදෙව්වොත් රූපයේ ඇත්තම ඇත්ත දැනගන්න පුලුවන්. රූපයේ ඇත්ත දුටු දවසට කාමධාතුවෙන් මිදෙන්න පුලුවන් ඉඩක් ලැබෙනවා.
රූපයේ ඇත්ත මොකක්ද? හතරමහා ධාතු නිසා හැදුනු උපාදාය රූපයක් කියන එක. ඒක හැමෝම දන්නවා.

එතකොට ඒ රූපයේ අම්මා තාත්තා කියලවත් දූ පුතා කියලවත්,සැමියා භාර්යාව කියලවත් මොකුත්ම විස්තර නැහැ.
රූපයේ ඇත්තම ඇත්ත නම් අනාත්මයි කියන කාරනාව. අනිත්‍ය කියන කාරනාව පැත්තකින් තිබ්බත් අනාත්මය හොඳට දකින්න වෙනවා.
මොකක්ද රූපයේ අනාත්මය. කබලිංකාහාර නිසා පවතින රූපයක්. ඕජාව අටවැනි තැනට තියාගෙන කබලිංකාහාරය නිසා පවතින දෙයක්.
අනාත්මයි කියන්නෙ.??? ආත්මයක් සහිත දෙයක් නොව ඔජාව නිසා පවතින දෙයක් මිස. එතකොට අධ්‍යාත්මික කයේ කේසා ලෝමා නඛා දන්තා ආදිය අරන් බලන්න ඒවා කබලංකාහාරය නිසා වැඩෙන පවතින දේවල් ඒවා තුල ආත්මයක් තියෙයිද..මේ සියල්ලේම එකතුවෙන් හටගත් ශරීරය එහෙනම් ආත්මයක් වෙන්නේ කොහොමද කියල සත්ත්ව පුද්ගල ආත්ම සංඥාව දුරුවෙන තුරු මෙය දැකල “මම” කියන අවිජ්ජා කෙලේසය අරන් දාගන්න වෙනවා.
දුව පුතා සැමියා භාර්යාව කියන තැනද කේසා ලෝමා නඛා දන්තා තචො ආදී වශයෙන් බලල කබලංකාහාරයේ ඕජාවෙන් වැඩිල පැවතිල නැතිවෙලා යන තැනක සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් හෝ තියෙනවද කියල බලල එතනත් ආත්ම සංඥාව දුරුකරල”මගේ” කියන තන්හා කෙලේසය අරන් දාන්න.

සත්ත්වයා විවිධ දෘශ්ඨි තුල ඉඳගෙනයි මේ පැවැත්ම ගෙනයන්නෙ. දෘශ්ඨි කියන්නෙ අවිජ්ජා ක්ලේශය.

දවසක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණියා අචෙල කස්සප කියන පරිබ්‍රාජකයා. ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් විචාරනවා.
කින්නු ඛො භො ගොතම,සයං කතං දුක්ඛන්ති
භවත් ගෞතමයන් වහන්ස.දුක තමා විසින් කරන දෙයක්ද??
මා හෙවං කස්සප....එහෙම කියන්න එපා කස්සප
කිම්පන භො ගොතම..පරං කතං දුක්ඛන්ති
මා හෙවං කස්සප....එහෙම කියන්න එපා කස්සප
කින්නු ඛො භො ගොතම..සයංකතඤ්ච පරංකතඤ්ච දුක්ඛන්ති
මා හෙවං කස්සප....එහෙම කියන්න එපා කස්සප
කිං පන භො ගොතම..අසයංකාරං අපරංකාරං අධිච්ච සමුප්පන්නං දුක්ඛන්ති
තමා විසින් හෝ අනුන් විසින් නොකලේ නම් දුක ඉබේ හටගත් දෙයක්ද
මා හෙවං කස්සප....එහෙම කියන්න එපා කස්සප
දුක තමා විසින් කරන ලදී කියල ගන්නවා නම් ඒක එක අන්තයක් ශාස්වත දෘශ්ඨියයි.
අඤ්ඤො කරොති අඤ්ඤො පටිසංවෙදියති දුක අනුන් විසින් කරන ලද්දක් කියා ගන්නවා නම් එය උච්ඡේද දෘශ්ඨියයි.
එතෙ තෙ කස්සප උභො අන්තෙ අනුපගම්ම මජ්ජෙන තථාගතො ධම්මං දෙසෙති.
කාශ්‍යපය...තථාගතයන් මේ අන්ත දෙකටම නොවැටි මධ්‍යයේ සිටයි ධර්මය දේසනා කරන්නෙ..
අවිජ්ජා පච්චයා සංඛාරා...සංඛාර පච්චයා විඤ්ඤාණං...(පෙල). ඒවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.අවිජ්ජායත්වෙව අසේස විරාග නිරොධා සංඛාර නිරොධො..සංඛාර නිරොධා විඤ්ඤාණ නිරොධො(පෙල)..එව මෙතස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති..
මෙන්න මේ මැදට පැමිණිලා පටිච්ච සමුප්පාද ධර්මය මැනවින් ප්‍රතිවේධ කරලා මේ හට ගැනීම නැතිවීම නුවනින් දැකල ඒ නාමරූප ධර්මයන් පිරිසිඳ දැකීමෙන් සත්ත්ව පුද්ගල ආත්ම දෘශ්ඨිය මුලුමනින්ම නිරුද්ධ කරල මේ ජීවිතයේදී නියතෝ සම්බෝධි පරායනො කියන සෝතාපන්න භාවයත්, සියලු නැසීමෙන් ඒ ශාන්ත සුන්දර වූ නිවනත් ශාක්ෂාත් වේවා..
දේශනය සහ සටහන
jayantha colombage 



No comments:

 
Blogger Templates