Social Icons

Pages

Sunday, September 21, 2014

වස් විසීම සහ කඨින චීවර පූජාව


සාකේත නුවර වස් සමාදන් වී මහා පවාරණයෙන් පවාරණය කොට බුදුරජාණන් වහන්සේ දැකීම පිණිස සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පැමිණි තිස් නමක් භික්ෂූන් වහන්සේ අතරමගදී වැස්සට තෙමීමෙන් තෙත් වූ සිවුරු ඇතිව ක්ලාන්ත වී බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියාහුය. අතරමගදී භික්‍ෂූන් වහන්සේට සිදු වූ කරදරය ගැන සිතා උන්වහන්සේ තරමක පහසුවක් ඇතිකර දීම පිණිස “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං “ යනුවෙන් මහණෙනි, වස් වැස නිම වූ භික්ෂූන්ට කඨිනයක් ඇතිකිරීමට අනුදනිමි”යි වදාළහ. එතැන් පටන් භික්ෂූන් වහන්සේට කඨින සිවුර පරිභෝග කිරීමට අවස්ථාව ලැබිණ.

කඨින චීවරය සෑම භික්ෂුවකට ලබාගත නොහැකිය. ඒ සඳහා කරුණු කීපයකින් භික්ෂුව සම්පූර්ණ විය යුතුයි. එම කාරණා මෙසේය.
1. වස්සාන ඍතුවේ පෙර වස් සමාදන් වූ භික්ෂුවක් වීම.
2. වස් ශික්‍ෂාපදය මාස තුනක් යනතුරු ආරක්‍ෂා කළ භික්‍ෂුවක් වීම .
3. වප් පුර පසළොස්වක පොහොය දින මහා පවාරණය කළ භික්‍ෂුවක් වීම
මේ ආදී කරුණු සම්පූර්ණ වීමෙන් කඨින චීවරයක් ලබා ගැනීමට හා එහි ආනිසංස අනුමෝදන් වීමට හැකියාව ලැබෙයි, කඨින ආනිසංස වශයෙන් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ට පනවා වදාළ ශික්ෂා පද පහකින් නිදහස ලැබෙයි එම ශික්ෂාපද පහ මෙසේය.
1. යම් කිසි භික්‍ෂුවක් ආරාධනා කළ දානයක් භාරගෙන තිබියෙදී සමීපයේ සිටින භික්ෂුවකට නොදන්වා කුලයන් කෙරෙහි ගියේ වී නම් එම භික්‍ෂුවට “ පචිති” නමැති වරදක් වෙයි. නමුත් කඨින ආනිසංස ඇති කාලය තුළ එසේ යෑමෙන් භික්‍ෂුවට වරදක් නොවේ. මෙයට “අනාමන්තචාර” යැයි කියනු ලැබේ.
2. යම් කිසි භික්‍ෂුවක් අධිෂ්ඨාන කරන ලද තුන් සිවුරෙහි (දෙපට සිවුර, තනිපට සිවුර, අඳනය) එකක් නමුත් අරුණ උදාවන මොහොතේ දී අත්පසින් තොරව තැබුවේ නම් “ නිසනි පචිති” නමැති වරදක් වෙයි.
නමුත් කඨින ආනිශංස පවතින මාස පහ තුළ එසේ වරදක් නොවෙයි. මෙයට “අසමාදානචාර “ යැයි කියනු ලැබේ.
3. යම් කිසි භික්ෂුවක් ‘අපට බත් දෙව‘ ආදී වශයෙන් ඉල්ලා හෝ ‘අපගේ බත ගනුව‘ ආදී වශයෙන් හෝ ලැබෙන අකැප ආරාධනා බාරගෙන හෝ භික්ෂූන් වහන්සේ සිවු නමක් හෝ ඊට වැඩි පිරිසක් සමග ගොස් දානය වැළදීමෙන් ඒ භික්‍ෂූන් වහන්සේට “පචිති” නැමැති වරදක් සිදුවෙයි. නමුත් කඨින ආනිශංස තිබෙන භික්‍ෂූන් වහන්සේට එසේ වරදක් නොවෙයි. මෙයට “ගණභොජනය” යැයි කියනු ලැබේ.
4.යම් භික්‍ෂුවකට අතිරේකව ලැබෙන චීවර , අධිෂ්ඨාන විකල්පනය නමැති විනය කර්ම නොකොට දින දහකට වඩා වැඩි ගණනක් තමා සන්තකව තබා ගත්තේ නම් ඒ භික්‍ෂුවට “නිසඟි පචිති” නැමැති වරදක් සිදු වෙයි. නමුත් කඨින ආනිශංස ඇති කාලය තුළ එසේ වීම තුළින් වරදක් නොවෙයි. මෙයට “යාව දත්ථ චීවර” යැයි කියනු ලැබේ.
5. මහා සංඝරත්නය උදෙසා සඟසතු කොට පූජා කරන ලද චීවරාදිය “ අපලෝකනය” නමැති විනය කර්මය නොකොට පරිභෝග කිරීමෙන් හා සංඝයා අතර බෙදීමෙන් “ දුෂ්කට “ නමැති වරදක් වෙයි. කඨින ආනිශංස ලත් භික්‍ෂුවට එසේ නොවෙයි. මෙයට “යාවතත්ථ චීවරුප්පාදය” යැයි කියනු ලැබේ.
වස්සාන ඍතුවේ අවසාන මාසය වශයෙන් ගැනෙන වප් පුර පසළොස්වක පොහෝ දිනට පසුදා පටන් ඉල් මස පසළොස්වක දක්වා ඇති දින විසි නවය , කඨින චීවර භාර ගැනීමට හැකි කාලයයි. කඨින චීවරය ලැබ අතුළ දිනයේ පටන් හේමන්ත ඍතුවේ අවසාන දිනය දක්වාම ඉහත කී පංච ආනිශංස භික්‍ෂූන් වහන්සේට ලැබෙනු ඇත.
කඨින චීවරයක් පූජා කිරීමේදී පෞද්ගලිකව එක් භික්‍ෂුවකට පමණක් පූජා කළ නොහැකිය. කඨින චීවරය භාර ගැනීමේ අයිතිය තිබෙන්නේ මහා සංඝ රත්නයටයි. එපමණක්ද නොව කඨින චීවරය පැවරීමේ විනය කර්මය කිරීමට නම් අඩුම තරමින් උපසම්පදා භික්‍ෂූන් වහන්සේ පස් නමක්වත් සිටිය යුතුයි.
එබැවින් “ ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම” මෙම කඨින චීවරය භික්‍ෂු සංඝයාට දෙමි කියා මහා සංඝරත්නය උදෙසා සඟසතු කොට පිදිය යුතුයි. ඉන්පසු සංඝරත්නය වෙත ලැබුණු කඨින චීවරය යුතුකමක් වශයෙන් එම විහාරයේ සිටින වස් ශික්ෂා පදය ආරක්ෂා කරගත් කරුණු අටක් පිළිබඳ මනා දැනුමක් ඇති භික්‍ෂූන් වහන්සේ නමකට පවරාදීම සිදු කැරේ.
කඨින චීවරය සමඟ පූජා කරන සියලු පූජා වස්තු වලින් දායක පින්වතුන්ට කඨින ආනිශංස ලැබෙයි. එබැවින් බොහෝ පින්වතුන් එදිනට අඩුම තරමින් ඉදිකට්ටක් නූල් බෝලයක් තරම් දෙයක් නමුත් ගෙනැවිත් පූජා කොට කඨින ආනිසංස ලබති. එය ඉතා වටිනා පුරුද්දක් යැයි සිතමි.
කඨින චීවරය ලබන භික්‍ෂූන් වහන්සේලාට එහි ආනිසංස ප්‍රමාණ කළ හැකිය. එහෙත් කඨින චීවරයක් පූජා කරන පින්වතුන්ට ලැබෙන ආනිසංස ප්‍රමාණ කළ නොහැකිය.
එයට නාගිත මහ රහතන් වහන්සේගේ චරිතාප්‍රදානය කදිම නිදසුනකි. මුන් වහන්සේ කල්ප 91 ට පෙර ලොව පහළ වූ විපස්සී නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ මහා සංඝරත්නයට කඨින චීවරයක් පූජා කොට තිබිණි. මෙහි ආනිශංස වශයෙන් මහා කල්ප 30 ක් මුළුල්ලෙහි දුගතියකට පත් නොවී කල්ප 18 ක් දෙව්ලොව වාසය කොට, 34 වතාවක් සක්දෙව් පදවියෙන් දිව්‍ය රාජ්‍යය කොට, 34 වතාවක් චක්‍රවර්ති රාජ සම්පත් ලබා සුගතියෙන් සුගතියට මාරු වෙමින් පැමිණි අතර, අප ගෞතම සම්මා සම්බුද්ධ ශාසන කාලය උදා විය . අප ශාසන කාලයේදී එහි භික්‍ෂු භාවයෙන් පැවිදි වී අර්හත්වයට පත් විය.
මෙහිලා වැඩි විස්තර ‘කඨින වංස ‘ නමැති ග්‍රන්ථයෙන් බලාගත යුතුයි.
ඉහත කී ආනිශංස ලබාගත හැකි වන්නේ බුදුරජාණන් වහන්සේ පනවා ඇති වස් ශික්ෂාපදය භික්‍ෂූන් වහන්සේ හරි හැටි ආරක්ෂා කළහොත් පමණකි. වැසි සමයෙහි භික්‍ෂූන් වහන්සේ නේවාසික විහාරස්ථාන වලින් පිට යෑම ඒම නිසා කුඩා පණුවන් ආදී සතුන් පෑගී මරණයට පත් විය. මේ කාරණය දැනගත් අන්‍ය තීර්ථකයෝ භික්‍ෂූන්ට දෝෂාරෝපණය කළහ.
මේ කාරණය දැනගත් බුදුරජාණන් වහන්සේ” අනුජානම් භික්ඛවේ වස්සානේ වස්සං උපගත්තුං “ “මහණෙනි වැසි කාලය තුළ වස් එළඹීමට අනුදනිමි” කියා ශික්ෂා පදයක් පනවා වදාළ සේක. එම ශික්ෂා පදය සමාදන් නොවන භික්‍ෂුවට “ දුෂ්කට “ නමැති වරදක් සිදු වේ.
වස්සාන කාලය තුළ මෙම ශික්ෂාව සමාදන්ව ආරක්ෂා කරන සිල් ගුණ පුරන භික්‍ෂූන් වහන්සේ ට බොදු ජනයා සිවුපසයෙන් (චීවර , පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස) උපස්ථාන කොට අපමණ පින් සිදුකර ගනිති. මේ සිරිත ලංකාව ඇතුළු තවත් බොහෝ බෞද්ධ රටවල පවතී .
සතිකරණය හා සත්තාහකරණය
වස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේ ඉහත කී කාරණ දෙක ගැන අවධානය යොමු කළ යුතුයි. අද කාලයේ ඇතැම් භික්‍ෂූන් වහන්සේ මේ ගැන නොසිතීම නිසා තමාටත් දායක පින්වතුන්ටත් ලැබීමට තිබෙන කඨින ආනිශංස නොලැබෙන සේ කටයුතු කරති. බොදු ජනයා විසින් ඉතාම ගරුකොට සලකන පින්කමක් හැටියට කඨින මහා පින්කම සැලකිය හැකිය ඒ සඳහා විශාල ධනයක් ශ්‍රමයක් යොදා වැස්ස පින්න නොතකා නිදිමත කුසගිනි ගැන ද නොසිතා ඉතා ඕනෑකමින් කඨින පින්කම සිදු කරති. එසේ වෙහෙසෙන දායක උදවියට ලැබෙන පින මහත් ඵල කරදීමට භික්‍ෂූන් වහන්සේටද විශාල වගකිමක් ඇත. එම වගකීම් අතර ඉහත කී සතිකරණය හා සත්තාහකරණය යන කාරණ දෙක විශේෂ තැනක් ගනියි.
සතිකරණය යනු :-
වස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේ පැයක් දෙකකට නමුත් එම විහාර භූමියෙන් පිට වී යන්නේ නම් මේ මම වස් විසු ස්ථානයයි. මම නැවත මෙතැනට එන්නෙමියි” යන අධිෂ්ඨානයෙන් යුතුවම යා යුතුයි. මෙසේ සිතාගෙන කරුණක් ඇති විට දිනකට කීප විටක් නමුත් වස් විසූ ස්ථානයෙන් පිටව යා හැකිය. නමුත් එදිනම නැවත පැමිණිය යුතුයි. ඉහත කී ආකාරයට නොසිතා යෑමෙන් හා එසේ සිතා ගොස් එදිනම වස් සමාදන් වූ ස්ථානය ට නොපැමිණීමෙන් භික්‍ෂුවගේ වස් ශික්ෂාපදය බිඳෙයි. එසේ වස් ශික්ෂාව බිඳුණු භික්‍ෂුවට කඨින චීවරයක් භාරගත නොහැකිය. බොහෝ විහාරස්ථාන වල “අයං වස්සාන කාලෝ” “ මේ වස් කාලයයි” කියා ලෑලි කෑල්ලක ලියා විහාරස්ථානයෙන් පිටව යන ස්ථාන වල එල්ලා තබන්නේ, ඉහත කී කාරණය සිහිපත් වීම පිණිසයි.
සත්තාහකරණය:-
මෙයින් අදහස් කරන්නේ අත්‍යවශ්‍ය කරුණක් ඇති කල්හි වස් විසූ ස්ථානයෙන් පිටව ගොස් එක් රාත්‍රියක් නමුත් එසේ යන තැන වාසය කිරීමට යන්නේ නම් “ සචේ මේ ජීවිතන්තරායෝ න භවිස්ස පුන සත්තාහම්භන්තරේ ආගම්ස්සාහමි” ඉදින් මගේ ජීවිතයට අනතුරක් නොවිණි නම් නැවත දින හතක් ඇතුළත වස් විසූ ස්ථානයට පැමිණෙන්නෙමී “ යි අධිෂ්ඨාන කරගෙන යා යුතුයි.
එසේ නොමැතිව වස් විසූ ස්ථානයෙන් පිටව යන භික්‍ෂුවගේ වස් ශික්ෂාපදය බිඳෙයි. ඉහත කී ආකාරයට අධිෂ්ඨාන කරගෙන ගියේ නමුත් දින හතක් ඇතුළත වස් විසූ විහාරස්ථානයට පැමිණීමට නොහැකි වූයේ නම්, එයින්ද, භික්‍ෂුවගේ් වස් සමාදානය බිඳෙයි.

ලග්ගල කල්‍යාණවංස හිමි

No comments:

 
Blogger Templates