Social Icons

Pages

Wednesday, July 30, 2014

ආටානාටිය සූත්‍රය-සිංහල අර්ථය-පළමු බණවර-



භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ජුකූට පර්වතයෙහි වැඩ
වාසය කරන සමයේ මා විසින් මේ සූත්‍ර දේශනාව අසන ලද්දෙමි.
එකල්හි දෘතරාෂ්ඨ ආදී සතරවරම් මහරජදරුවෝ මහා යක්ෂ
සේනාවකින්ද,මහා ගාන්ධර්ව සේනාවකින්ද,මහා කුම්භන්ඩ
සේනාවකින්ද,මහා නාග සේනාවකින්ද, ශක්‍ර දේවේන්ද්‍රයා හට හතර
දිසාවෙන්ම ආරක්ෂාව පිහිටුවා,සිව් දෙසින් මහාබල සේනාව රඳවා,රාත්‍රියේ
පෙරයම ඉක්මවූ වෙලාවෙහි මනෝරම්‍යවූ ඡවිවර්නයෙන් යුක්තව ගිජ්ජකූට
පර්වතය හාත්පසින් බබුළුවාගෙන,බුදුරජාණන් වහන්සේ යම් තැනකද,එම
ස්ථානයට පැමිණ,මැනවින් වන්දනා කරමින් එකත්පසව සිටියෝය.


සතරවරම් දෙවියන් සමග පැමිනි ඇතැම් යක්ෂයොද බුදුරජාණන්
වහන්සේට මැනවින් වන්දනා කර එකත් පසෙකට විය.ඇතැම් යක්ෂ
කෙනෙක් සතුටු විය යුතු වූ සිහිකටයුතු වූ කතාවක් කර සතුටුව එකත්
පසෙකට විය. ඇතැම් යක්ෂයෙක් බුදුරජානන් වහන්සේ වැඩසිටින දිශාවට
දෑගිලි බැද අඤ්ජලිප්‍රනාමය කොට එකත්පස්ව සිටියෝය.ඇතැම් යක්ෂ
කෙනෙක් නම්ගොත් විමසා එකත්පස්ව සිටියෝය. ඇතැම් යක්ෂ කෙනෙක්
නිශ්ශබ්දව එකත්පසෙකට වී සිටියෝය. මෙසේ එකත්පස්ව සිටි වෙස්සවණ
(වෙසමුණි) මහරජු බුදුරජාණන් වහන්සේට මේ කාරණය සැළකලහ.

“ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස...ඔබ වහන්සේට අප්‍රසන්න වූ මහේශාක්‍ය
යක්ෂයෝ සිටිනවා.ප්‍රසන්න වූ මහේශාක්‍ය යක්ෂයන්ද සිටිනවා.එමෙන්ම
අප්‍රසන්නවූද ප්‍රසන්නවූද මධ්‍යම ආනුභාව ඇති යක්ෂයන්ද සිටිනවා.
ඔබවහන්සේට අප්‍රසන්නවූද, ප්‍රසන්නවූද, නීච යක්ෂයන් සිටිනවා.ස්වාමීණී..
යක්ෂයෝද බොහෝ සෙයින්ම ඔබවහන්සේට අප්‍රසන්න වූ අයමයි. එයට
හේතුව කුමක්ද..... ???
ස්වාමීණී..භාග්‍යවතුන් වහන්සේ යනු ප්‍රාණඝාතයෙන්,සොරකමින්, කාම
මිථ්‍යාචාරයෙන්,මුසාවාදයෙන්,රහමෙරපානයෙන් වැළැක්ම පිණිසම දහම්
දෙසන කෙනෙක්. බොහෝවිට යක්ෂයින් යනු ප්‍රාණඝාතයෙන්,
සොරකමින්,කාමමිත්‍යාචාරායෙන්,මුසාවාදයෙන්, රහමෙර පානයෙන්
වැළකුණු අය නොවෙයි. ඒ නිසා ඒ යක්ෂයන්ට ඒ ධර්මය අප්‍රියයි. මනාප
නොවෙයි.
ඔබවහන්සේගේ ශ්‍රාවකයෝ වනන්තරය තුල ඉතා දුරවූද
ආරන්‍යවල,නිහඬ මහත් ගෝසා රහිතවූ කෝලාහල නැත්තාවූද,ජනයාගේ
හැසිරීම් වලින් තොරවූ,මිනිසුන්ගෙන් රහස්‍යභාවයට ගියාවූ,සිත එකඟ
කිරීමට සුදුසුවූ, ආරන්‍ය සේනාසන සේවනය කරති. ඒ වන සේනාසන වල
නිරන්තරයෙන් වාසය කරන්නාවූ මහානුභාව සම්මපන්න යක්ෂයෝ
සිටිනවා. මේ කිසියම් හෝ යක්ෂයෙක් භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපිටක
බුද්ධ වචනය කෙරෙහි පැහැදීමක් ප්‍රසන්න බවක් නැත්ද, ඒ අයගේ පැහැදීම
පිණිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ උවදුරු වැලැක්වීම
පිනිසත්, ආරක්සාව පිණිසත් වෙහෙසට පත්නොවීම පිනිසත්, පහසු
විහරණය පිනිසත් ආටානාටිය නම් වූආරක්ෂාව හෙවත් පිරිත භාග්‍යවතුන්
වහන්සේ ඉගෙන වදාරන සේක්වා..“

එවිට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් යුක්තව වැඩහුන් සේක.
එසේ බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව වැඩහුන් විලාසය නිහඬ ඉවසීම දැන
ඒ වේලාවෙහිදී මේ ආටානාටිය පිරිත කීවේය. කෙසේද යත්...

1.ප්‍රඥා ඇස සහිතවූ සිරිමත් විපස්සී බුදුරජාණන් වහන්සේට නමස්කාර
වේවා. සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාව ඇත්තාවූ සිඛී බුදුරජාණන්
වහන්සේටද නමස්කාර වේවා.
2.නිකෙලෙස් වූ කෙලෙස් තවන විරියෙන් යුතුවූ වෙස්සභූ බුදුරජාණන්
වහන්සේටද නමස්කාර වේවා. පඤ්චවිධ මාර සේනාව පරාජය කල කකුසඳ
බුදුරජාණන් වහන්සේටද නමස්කාර වේවා.
3.මාර්ග බ්‍රහ්මචරියාව සම්පූර්ණ කල කොණාගමන බුදුරජාණන් වහන්සේට
නමස්කාර වේවා. සියලු කෙලෙසුන් කෙරෙන් මිදුනු කාශ්‍යප බුදුරජාණන්
වහන්සේටද නමස්කාර වේවා.
4.සියලු දුක් කරන්නාවූ මේ ධර්මය යම් සර්වඥ කෙනෙක් දේශනා කරයිද,
ඒ සිරිමත් අඞගීරස නම්වූ ශාක්‍ය පුත්‍ර ගෞතම බුදුරජාණන් වහන්සේට
නමස්කාර වේවා.
5.ලොවෙහි විදර්ශනා ඥානයෙන් කෙලෙස් නසා මහත් විශාරද බවට
පැමිණුනාවූද,තත් පරිද්දෙන් දැන සංසාර භය නිමාකර රහත්භාවයට පත්
යම් රහතන් වහන්සේ නමක් සිටිත්ද උන්වහන්සේලාටද නමස්කාර වේවා.
6.අෂ්ඨ විද්‍යා පසලොස්චරණ ධර්මයන් ගෙන් සමන්විත වූ,මහත්වූ විශාරද
බවට පත්වූ පහවූ බිය ඇති,සියලු දෙවියන්ටත් මිනිසුන්ටත් හිතවූ,යම්
ගෞතමගොත්‍රත්භූත වූ බුදුකෙනෙකු නමස්කාර කෙරෙද්ද ඒ සර්වඥයන්
වහන්සේටද පෙර ලොව පහළවූ සියලු බුදුවරයන් වහන්සේලාටද නමස්කාර වේවා.
7.ගිනිගෙන දිලිසෙන මහාමණ්ඩලයේ සූර්යයා යම් තැනකින් උදාවෙයිද,
යම් සූර්යයකු උදාවීමෙන් රාත්‍රිය නිරුද්ධ වෙයිද,
8.සූර්යයා යම් දිශාවකින් උදාවූ විට දවස යැයි කියනු ලබයිද, එතැන්හි
නොයෙක් ගංගාවන් එකතුවීමෙන් පතල ජලය ඇති ගැඹුරුවූ සමුද්‍රය යැයි
කියනා ලද ජල නිධියක්ද ඇත්තේය.
9.එතැන්හි පැතිරී ගියාවූ පතල මහා සමුද්‍රයයි. එය පෙරදිග දිශාව යැයි
දැනගනිත්. මහත්වූ යසස් පිරිවරක් ඇති ගන්ධර්වයන්ට අධිපති වූ ඒ
මහාරජ යම් පූර්ව දිශාවක් මනාකොට රකියිද,ධෘතරාෂ්ට්‍ර නම් වූ හේ තෙමෙ
ගන්ධර්ව පිරිස පිරිවරන ලදුව නෘත්‍ය ගීතයෙන් සිත් අලවා වාසය කරයි.
ඔහුට ඉන්ද්‍ර යැයි,එකම නාමය ඇත්තාවූ පුත්‍රයන් බොහෝ ගණනක් ඇති
බව මම අසා ඇත්තෙමි.මහාබලයෙන් යුක්ත ඉන්ද්‍ර නමින් වූ ඔහු
අසූවක්ද,දහයක්ද,එකෙක්ද වශයෙන් අනූඑක් දෙනෙක් වෙති.
ඒ අයද විපුල බවට පැමිණියාවූ,විශාරද වූ,බුද්ධ නම් වූ,ආදිච්ච බන්ධු
වූ,සර්වඥයන් වහන්සේ දැක “උත්තම පුරුෂයාණනි...ඔබවහන්සේට
නමස්කාර වේවා.....පුරුෂ ශ්‍රේෂ්ඨයාණනි..ඔබවහන්සේට නමස්කාර
වේවා“යි කියමින් දුරින්ම හිඳ නමස්කාර කරති.
“ඔබවහන්සේ..නිපුණ සර්වඥ ඥාණයෙන් මහජනයා දිහා බලති“යි කියමින්
අමනුස්සයෝද නමස්කාර කරති. මේ කාරණය අප විසින් එක්වන්ව අසන
දද්දකි. එසේ හෙයින්,
“නුඹලා ගෞතම ජිනයන් වහන්සේ වන්දනා කරනවාද?“ කියා අසන්නෙමු.
“ගෞතම ජිනයන් වහන්සේ වන්දනා කරන්නෙමු.විද්‍යා චරණසම්පන්න වූ
ගෞතම ජිනයන් වඳින්නෙමු“ කියා ඔවුන් කියති.
මියගිය අයගේ සිරුරු යම් චිශාවකට ගෙනයනු ලැබේයැයි කියනු
ලබයිද,කේලාම් කියන, පිටෙහි මස් කන අය සේ පුටපා යන කල ගර්හා
කරන,පණිවා කරන,රෞද්‍රවූ,චෞරවූ,කපටිවූ,වැරදිකාර ජනයා යම් දිශාවකට
ගෙනගොස් මරාදමනු ලැබේයැයි කියනු ලබන,ඒ යම් දිශාවක් යශස්වී
මහරජෙක් පාලනය කෙරෙයිද,ඒ මෙයින් දකුණු දිශාව යැයි මහජනයා
කියනු ලැබේ.
ඒ දිශාවෙහි කුම්භාණ්ඩයන්ට අධිපතිකම් කරන,විරූඪක නමින් ප්‍රකට,රජ
තෙමේ කුම්භාණ්ඩයන් පෙරටු කරගෙන නැටුමෙන් ගැයුමෙන් සිත් අලවා
වාසය කරයි.
ඔහුට එකම නම ඇති පුත්‍රයන් බොහෝ සිටිති. ඉන්ද්‍ර නමින් වූ මහා බලවත්
ඔවුන් එක් අනූ දෙනෙකැයි මා අසා ඇත්තෙමි.
ඒ අයද සූර්යය බන්ධු වූ මහත් බවට පැමිණි,බිය රහිත,කෙලෙස් නිද්‍රාවෙන්
පිබිදුණු තථාගතයන් වහන්සේ දැක
 “උත්තම පුරුෂයාණනි...ඔබවහන්සේට නමස්කාර වේවා.....පුරුෂ
ශ්‍රේෂ්ඨයාණනි..ඔබවහන්සේට නමස්කාර වේවා“යි කියමින් දුරින්ම හිඳ
නමස්කාර කරති.
“ඔබවහන්සේ..නිපුණ සර්වඥ ඥාණයෙන් මහජනයා දිහා බලති“යි කියමින්
 අමනුස්සයෝද නමස්කාර කරති. මේ කාරණය අප විසින් එක්වන්ව අසන
ලද්දකි. එසේ හෙයින්,
“නුඹලා ගෞතම ජිනයන් වහන්සේ වන්දනා කරනවාද?“ කියා අසන්නෙමු.
“ගෞතම ජිනයන් වහන්සේ වන්දනා කරන්නෙමු.විද්‍යා චරණසම්පන්න වූ
ගෞතම ජිනයන් වඳින්නෙමු“ කියා ඔවුන් කියති.

මහා රශ්මි මණ්ඩලය සහිත ආදිත්‍ය නම් වූ සූර්යයා යම් දිශාවකින් බැස
යයිද, ඒ වෙලාවෙහි දහවල අතුරුදන් වෙයිද,
යම් දිනකට හිරු බැස ගිය කල්හි රාත්‍රිය යනුවෙන් කියනු ලබයිද,ඒ
දිහාවෙහි ප්‍රවිශ්ඨ වූ නදී ජලය ඇති සමුද්‍රය නම් වූ ගැඹුරු ජලාශයක් වෙයි.
මෙසේ එය නදී දිය ඇති සමුද්‍රය යැයි දනිත්ද, යසස් සහිත වූ යම් මහරජෙක්
ඒ දිහාව පැලනය කරත්ද,එය මෙතැනින් පසුදිග(බස්නාහිර)යැයි ජනයා
ව්‍යවහාර කරත්.
විරූපාක්ෂ යැයි ප්‍රකටව නාගයන්ට අධිපතිකම් කරන්නාවූ, ඔහු නාගයන්
පෙරටු කරගෙන නෘත්‍ය ගීයෙන් සිත් අලවා එහි වාසය කරයි.
ඔහුට එකම නාමය ඇති බොහෝ පුතුන්ද සිටිත් යැයි මා විසින් අසා
ඇත්තෙමි. මහබලැති ඉන්ද්‍ර නම් වූ ඔහු එක් අනූ දෙනෙක් වෙති.
ඔහුද සූර්යය බන්ධු වූ මහත් බවට පැමිණි,බිය රහිත,කෙලෙස් නිද්‍රාවෙන්
පිබිදුණු තථාගතයන් වහන්සේ දැක
 “උත්තම පුරුෂයාණනි...ඔබවහන්සේට නමස්කාර වේවා.....පුරුෂ
ශ්‍රේෂ්ඨයාණනි..ඔබවහන්සේට නමස්කාර වේවා“යි කියමින් දුරින්ම හිඳ
නමස්කාර කරති.
“ඔබවහන්සේ..නිපුණ සර්වඥ ඥාණයෙන් මහජනයා දිහා බලති“යි කියමින්
අමනුස්සයෝද නමස්කාර කරති. මේ කාරණය අප විසින් එක්වන්ව අසන
ලද්දකි. එසේ හෙයින්,
“නුඹලා ගෞතම ජිනයන් වහන්සේ වන්දනා කරනවාද?“ කියා අසන්නෙමු.
“ගෞතම ජිනයන් වහන්සේ වන්දනා කරන්නෙමු.විද්‍යා චරණසම්පන්න වූ
ගෞතම ජිනයන් වඳින්නෙමු“ කියා ඔවුන් කියති.
යම් දිශාවක ඉමහත් දැකුම්කළු මහාමෙරු පර්වතය වෙත්ද,එහි සිත්කළු වූ
උතුරුකුරුව වෙයි. එහි වස්ත්‍රආදි දේ කෙරෙහි මමත්වයක් නොමැති,ස්ත්‍රීන්
කෙරෙහි අයත්කරගැනීමක් නැති,මිනිසුන් උපදිත්.
ඒ අය ධාන්‍ය බිජුවට නොවපුරවයි.කෙත්වතුවලට නගුල් ආදිය නොගනියි.ඒ
අය සීසෑම නොකරම බිමෙහි හටගෙන බිමෙහිම පැසුනු ස්වයංජාත සහල්
පරිභෝජනය කරත්. මේ කුඩු නැති තොහො නැති ශුද්ධවූ සුවඳැති
සහල්,හැලියක දමා උයාගෙන එයින් බොජුන වළඳත්.
එහි යක්ෂයෝ එළදෙන එක් කුරැති වාහනයක් කොට දිශාවෙන් දිශාවට
ගමන්කරත්.සිවුපාවෙකු එක් කුරැති වාහනයක් කොට දිශාවෙන් දිශාවට
යත්.

ගැබිණි ස්ත්‍රියක වාහනයක් කොටගෙන දිසාවෙන් දිසාවට යත්.පුරුෂයකු
වාහනයක් කරගෙන දිසාවෙන් දිසාවට යත්.
කුමරියක  වාහනයක් කොටගෙන දිසාවෙන් දිසාවට යත්. කුමරකු
වාහනයක් කොටගෙන දිසාවෙන් දිසාවට යත්.
ඒ වෙසවුණු රජගේ පරිවාර යක්සයෝ හස්තියාන,අශ්වයාන,දිව්‍යයාන.වල
එළැඹ සියලු දිශාවන් සැරිසරයි.
යසස් ඇති ඒ වෙසමුණු රජුට ප්‍රාසාදද,සිවිගෙවල්ද,අයත්ය.එමෙන්ම ඒ රජුට
අහසෙහි මනාව මවන ලදුව ආටානාටා,කුසිනාටා,පරකුසිනාටා,නාටපූරියා,
නම් වූ නගරයන්ද වූහ.
පරකුසිනාතාවට උතුරු දිගින් කපීවන්ත නම් නුවරක්ද,තවත් නවනවතිය
නමින් නුවරක්ද,අම්බරඅම්බරවතිය නම් නුවරක්ද,වෙනත් ආලමන්දා නම්
රාජධානියක්ද ඇත්තේය. නිදුකාණනි...කුවෙර මහරජුගේ රාජධානිය
විසාණා නම් වන්නේය. ඒ නිසා කුවේර මහරජ වෙස්සවණ යනුවෙන්ද
නම්කරනු ලබනවා. එහි
තතොලා,තත්තලා,තතොතලා,ඔජසි,තෙජසී,තතොජසී,සූර,රාජ,සුරරාජ,
අරිෂ්ට,නෙමි,අරිෂ්ටනෙමි, යන නකම් වලින් යුක්ත දොලොස් යක් රැටියන්
කරුනු විමසා පවසත්.
යම් පොකුණකින් දිය ඇදගෙන යන වලාකුල් වලින් වැසි වසිද්ද, යම්
පොකුණකින් වර්සාව පැතිරෙද්ද, එවැනි වූ ධරණී නම් ජලාශයක් එහි
ඇත්තේය. ඒ ජලාශ තීරයේ යක්ෂයන් රැස්ව හිඳින භගලවතී නම් රුවන්
මුවා මඞඩපයක් වන්නේය.
ඒ මඬුව හාත්පස විවිධ පක්ෂි සමූහයාගෙන් යුක්ත වූ මොණරුන්ද, කොස්
ලිහිණියන්ද, විසින් නාද දෙන කොවුලන් ආදීන් විසින් ඇතිකරන
මනෝරම්‍ය නාදයන්ගෙන් යුක්ත නිරන්තරයෙන් ඵල දරන වෘක්ෂයෝ
බොහෝ වෙත්ය.
ඒ පියුම් වනයෙහි “ජීව..ජීව..“ යනුවෙන් නාදකරන ජීවජීවක නම් පක්ෂි
වර්ගයක්ද,උට්ඨවචිත්තක නම් පක්ෂීන්ද,වළිකුකුළෝද,රන්වන්
කකුළුවෝද,පොක්ඛරසාතක නම් පක්ෂීන්ද සිටිත්.
යසස් සහිත කුවේර රජ යම් දිහාවක් පාලනය කරයිද. ඒ මෙතැනින් උතුරු
දිශාව යැයි මිනිසුන් හඳුන්වනු ලබත්.
කුවේර නාමයෙන් ප්‍රකට යක්ෂයින්ට අධිපති වූ ඔහු යක්ෂයින්  පෙරටු
කරගෙන නෘත්‍ය ගීත වාදනයෙන් සිත් අලවා වාසය කරන්නේය.
ඔහුද, සූර්යය බන්ධු වූ මහත් බවට පැමිණි,බිය රහිත,කෙලෙස් නිද්‍රාවෙන්
පිබිදුණු තථාගතයන් වහන්සේ දැක
 “උත්තම පුරුෂයාණනි...ඔබවහන්සේට නමස්කාර වේවා.....පුරුෂ
ශ්‍රේෂ්ඨයාණනි..ඔබවහන්සේට නමස්කාර වේවා“යි කියමින් දුරින්ම හිඳ
නමස්කාර කරති.
“ඔබවහන්සේ..නිපුණ සර්වඥ ඥාණයෙන් මහජනයා දිහා බලති“යි කියමින්
අමනුස්සයෝද නමස්කාර කරති. මේ කාරණය අප විසින් එක්වන්ව අසන
ලද්දකි. එසේ හෙයින්,
“නුඹලා ගෞතම ජිනයන් වහන්සේ වන්දනා කරනවාද?“ කියා අසන්නෙමු.
“ගෞතම ජිනයන් වහන්සේ වන්දනා කරන්නෙමු.විද්‍යා චරණසම්පන්න වූ
ගෞතම ජිනයන් වඳින්නෙමු“ කියා ඔවුන් කියති.
නිදුකාණන් වහන්ස...භික්ෂූන්ට,භික්ෂුනියන්ට,උපාසකයන්ට,උපාසිකාවන්ට,ආරක්ෂාව
පිනිස,රැකවරණය පිනිස,වෙහෙසට පත් නොවීම පිණිස, සැප විහරණය
පිනිස, වූ ආටානාටිය පිරිත මෙයයි. නිදුකාණන් වහන්ස...යම්
භික්ෂූවක්,භික්ෂුනියක්,උපාසකයෙක්,උපාසිකාවක්, විසින් මෙය
මනාකොට උගන්නේද,අර්ථ ව්‍යංජන පිරිපුන් කොට පුරුදු පුහුණු වන්නේද,
යක්සයෙක්,යක්ෂණියක්,යක්සපෝතකයෙක්,යක්ෂපෝතිකාවක්,යක්ෂ
මහාමාත්‍යයෙක්,යක්ෂපරිවාරයෙක්,ගන්ධර්වයෙක්,ගන්ධර්වියක්,ගන්ධර්ව
පෝතකයෙක්,ගන්දර්ව පෝතිකාවක්,ගන්ධර්ව මහාමාත්‍යයෙක්, ගන්ධර්ව
පරිවාරකයෙක්, කුම්භාන්ඩයෙක්, කුම්භාන්ඩියක්,කුම්භාන්ඩ
පෝතකයෙක්,  කුම්භාන්ඩ පෝතිකාවක්,කුම්භාන්ඩ මහාමාත්‍යයෙක්.
කුම්භාන්ඩ පරිවාරකයෙක්, නාගයෙක්,නාගිනියක්, නාගපෝතකයෙක්,
නාග පෝතිකාවක්, නාගමහාමාත්‍යයෙක්, නාගපරිවාරකයෙක්, හෝ මෙකී
යම් අමනුස්සයෙක් ද්වේෂ සහගත සිතැත්තේ භික්ෂුවක් භික්ෂුණියක්
උපාසකයෙක් උපාසිකාවක් කිසිවකු අනුව යන්නේද, පිටුපසින් යන්නේද,
සිටින තැන වෙත යන්නේද, හිඳින තැන වෙත යන්නේද, සයනය කරන
තැන යන්නේද, නිදුකාණන් වහන්ස..ඒ අමනුස්සයා මාගේ ගමක හෝ
නියම් ගමක සත්කාරයක් ගෞරවයක් නොලබන්නේය. ඒ අමනුස්සයා
මාගේ ආළකමන්දා රාජධානියේ කිසිම වාසස්ථානයක් නොලබන්නේය.
නිදුකාණන් වහන්ස...ඒ කෙනාට මගේ යක්ෂ සමාගමට හෝ යන්නට
ඉඩක් නොලබන්නේය. තවද නිදුකාණන් වහන්ස...අමනුස්සයෝ ඔහුව
ආවාහ විවාහ කටයුත්තක් කරගන්නට බැරි කෙනෙකු බවට
පත්කරන්නේය. නිදුකාණන් වහන්ස...තවද..අමනුස්සයෝ ඔහුට ජාතිය
එළවා පරිපූර්ණ පිරිභවයෙන් වචන කියනු ඇත්තේය. තවද..අමනුස්සයෝ
හිස් ලෝහ පාත්‍රයක් යටකුරු කොට ඔහුගේ හිසෙහි ලන්නේය. තවද
නිදුකාණන් වහන්ස...අමනුස්සයෝ ඔහුගේ හිස සත්කඩක් කොට
පළන්නාහු වෙත්ය...
නිදුකාණන් වහන්ස..නපුරුවූ,සතුරුවූ කල දේටත් වඩා වැඩියෙන්
කරන්නාවූ අමනුස්සයෝද ඇත්තෝය. ඒ අය සතරවරම් දෙවියන්ගේ
වචනය පවා පිළිනොගනිත්. සතරවරම් රජුන් අයත් සෙනෙවියන්ගේ
වචනයද පිලිනොගනිත්. යටතේ සිටින සෙනෙවියන්ගේ වචනයද
පිළිනොගනිත්. යක් සෙනෙවියන්ගේ මෙහෙකරුවන්ගේ වචනයද
නොපිළිගනිත්.නිදුකාණන් වහන්ස..ඒ අමනුස්සයෝ වරම් මහරජුන්ගේ
සතුරෝ යයි කියනු ලබත්.
නිදුකාණනි..වහන්ස..යම් විධියකින් මගධාධිපති රජුට අයත් රටේහි මහා
සොරෙක් සිටිත්ද, ඔහු මගදාධිපති රජුගේ වචන පිළිනොගනියිද, රජුගේ
සෙනෙවියන්ගේද,එම සෙනෙවියන්ගේ මෙහෙකරුවන්ගේ වචනයද
නොපිළිගනියිද, ඒ මහා සොරා මගධාධිපති රජුගේ සතුරෝ යැයි කියනු
ලබනවා. එසේම නිදුකාණන් වහන්ස.. නපුරුවූද, සතුරුවූද, කල එකට
වැඩියෙන් එකක් කරන්නාවූ අමනුශ්‍ය කෙනෙක් වෙයිද, ඒ කෙනා වරම්
මහරජුන්ගේ වචනය පිළිනොගනිත්ද, සෙනෙවියන්ගේද, මහරජුන් අයත්
සෙනෙවියන්ගේ වචන පිළිනොගනිත්ද, එම සෙනෙවියන්ගේ
මෙහෙකරුවන්ගේ වචන පිළිනොගනිත්ද,නිදුකාණනි..ඒ අමනුශ්‍යයන් වරම්
මහ රජුන්ගේ සතුරෝ යැයි කියනු ලබත්.
නිදුකාණන්  වහන්ස...
යක්සයෙක්,යක්ෂණියක්,යක්සපෝතකයෙක්,යක්ෂපෝතිකාවක්,යක්ෂ
මහාමාත්‍යයෙක්,යක්ෂපරිවාරයෙක්,ගන්ධර්වයෙක්,ගන්ධර්වියක්,ගන්ධර්ව
පෝතකයෙක්,ගන්දර්ව පෝතිකාවක්,ගන්ධර්ව මහාමාත්‍යයෙක්, ගන්ධර්ව
පරිවාරකයෙක්, කුම්භාන්ඩයෙක්, කුම්භාන්ඩියක්,කුම්භාන්ඩ
පෝතකයෙක්,  කුම්භාන්ඩ පෝතිකාවක්,කුම්භාන්ඩ මහාමාත්‍යයෙක්.
කුම්භාන්ඩ පරිවාරකයෙක්, නාගයෙක්,නාගිනියක්, නාගපෝතකයෙක්,
නාග පෝතිකාවක්, නාගමහාමාත්‍යයෙක්, නාගපරිවාරකයෙක්, හෝ මෙකී
යම් අමනුස්සයෙක් ද්වේෂ සහගත සිතැත්තේ භික්ෂුවක් භික්ෂුණියක්
උපාසකයෙක් උපාසිකාවක් කිසිවකු අනුව යන්නේද, පිටුපසින් යන්නේද,
සිටින තැන වෙත යන්නේද, හිඳින තැන වෙත යන්නේද, සයනය කරන
තැන යන්නේද,
“ මේ යක්ෂයා අමනුශ්‍යයා මා ග්‍රහණය කරගනියි..මට ආවිශ්ඨ වෙයි...මා
පෙලනු ලබයි...මට හිංසා කරයි..මා වෙහෙසවයි...මා අත්හැර නොයයි“
දැන්විය යුතුයි. හඬ නගා කිව යුතුයි. ඔවුන් හා කිව යුතුයි.
එසේ දැන්විය යුතුව ඇත්තේ කුමන යක්ෂයන්ටද? කිනම් මහ යකුනටද?

කවර යක් සෙනෙවියෙකුටද?
ඉන්ද්‍ර, සෝම,වරුණ,භාරද්වාජ,ප්‍රජාපති,චන්දන,කාමශ්‍රේෂ්ඨ,කින්නීඝණ්ඩු,
නිඝණ්ඩු,ප්‍රණාද, ඔපමඤ්ඤ,මාතලී,චිත්‍රසේන, ගන්ධර්ව,නළ,රාජ,ජනර්ෂ්භ,
සාතාගිර,හේමවත,පූර්ණක, කරතිය, ගුඩ,ගොපාල, සුප්පගෙධ, හිරිනෙත්ති,
මන්දි,පඤ්චාලචන්ඩ,ආළවක,පර්ජන්‍ය,සුමණ,සුමුඛ, දධිමුඛ,මණි,මාණී, වර,
දීර්ඝ, සෙරිසක යන මොවුන්ටය.
මේ යක්ෂයන්ටද, මහා යක්ෂයන්ටද, යක්ෂ සේනාපතින්ටද, මහා යක්ෂ
සේනාපතිනටද,
“මේ යක්ෂයා අමනුශ්‍යයා මා ග්‍රහණය කරගනියි..මට ආවිශ්ඨ වෙයි...මා
පෙලනු ලබයි...මට හිංසා කරයි..මා වෙහෙසවයි...මා අත්හැර නොයයි“
දැන්විය යුතුය. හඬ නගා කිව යුතුය.
නිදුකාණන් වහන්ස..

භික්ෂූන්ට,භික්ෂුනියන්ට,උපාසකයන්ට,උපාසිකාවන්ට,ආරක්ෂාව
පිනිස,රැකවරණය පිනිස,වෙහෙසට පත් නොවීම පිණිස, සැප විහරණය
පිනිස, වූ ආටානාටිය පිරිත මෙයයි.
නිදුකාණන් වහන්ස..දැන් අප යායුතුයි. අපි බොහෝ වැඩ ඇත්තෝ වෙමු.
බොහෝ කටයුතු ඇත්තෝ වෙමු.
මහරජුනි..ඔබලාට යන්නට මේ කාලය නම් ඒ ගමන යන්න යැයි

බුදුරජාණන් වහන්සේ වදාල සේක.
ඉක්බිති සතරවරම් මහරජවරු හුනස්නෙන් නැගිට, බුදුරජාණන් වහන්සේ
පැදකුනු කොට අතුරුදහන් වූහ. ඒ යක්ෂයින්ද නැගිට ඇතැමෙක්සාදරයෙන් වැඳ අතුරුදහන් විය. ඇතැමෙක් සතුටු කතාවෙන් පසුව වන්දනා
කොට අතුරුදහන් විය. ඇතැමෙක් භාග්‍යවතුන් වහන්සේ දිහාවට දොහොත්
නමාගෙනම අතුරුදහන් විය. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා
අතුරුදහන් විය. ඇතැමෙක් නිහඬවම අතුරුදහන් විය.




No comments:

 
Blogger Templates