Pages

Sunday, July 22, 2012

දායාදය

















පින්වත් මහණෙනි..ඔබලා මාගේ ධර්මය දායාද කොට පිළිගන්නා අය වෙන්න..සිව්පස ආදී ආමිසය දායාද කොට නොගන්න..යම් විධියකින් ඔබලා ධර්මය දායාද කොට පිළිගන්නේ නැතිව ආමිසය දායාද කොටගෙන පිලිගෙන වාසයකරයි නම්..ඔබලා ඒ කාරණයෙන් ගැරහීමට ලක්වෙනවා..ඔබලාගේ ශාස්තෲන් වන මමද ගැරහීමට ලක්වෙනවා..ඒ නිසා ධර්මයම දායාද කොටගෙන එයම පිලිගෙන වාසය කරන්න..ආමිසය දායාද කරගෙන එය පිළිගෙන  වාසය නොකරන්න..
බුදුරජාණන් වහන්සේගේ මෙම බරපතල අනතුරු ඇඟවීම මා උපුටාගත්තේ
මජ්ජිම නිකායේ ධම්මදායාද සූත්‍රයෙන්. බරපතලයි කියා ලිව්වෙ එසේ වාසය
කිරීමෙන් තථාගතයන් වහන්සේ‍ට පවා අභූතයෙන් චෝදනා නැගෙන හෙයින්.
පින්වත් මහණෙනි කියා භික්ෂූන් අමතා මෙසේ දේශනා කලත් ඒවා අපිට අදාල
නැතැයි ගිහියෙකුට අතපිසදා ගන්නට බැහැ..මේ දේශනාව තුල සිව්වනක් පිරිසටමයි
ආමන්ත්‍රණය කොට තියෙන්නෙ..
ආමිසය තිබිය යුතුයි..ආමිසය බැහැර කිරීමක් ගැන නෙවෙයි මේ කථාකරන්නෙ.
ආමිසය උලක් වන අවස්ථා ගැනයි අණතුරු අඟවන්නෙ..ආමිසය තුල කීර්ති
ප්‍රශංසා ලාභ සත්කාර සියල්ලම තියෙනවා..
තථාගතයන් වහන්සේ මෙතනදි හරිම වැදගත් පැහැදිලි කිරීමක් කරනවා.
තථාගතයන් දානය වළඳා අවසන් වූ මොහොතෙත් පාත්‍රයේ තවත් ආහාර
ඉතිරිවෙලා තියෙනවා..මේ ඉතිරි ආහාර සතුන්ට ආහාර පිණිස දමන්නටයි
තියෙන්නෙ..මේ වෙලාවෙ අධික කුසගින්නෙන් පෙලෙන භික්ෂුන් දෙනමක්
එතැනට වඩිනවා..පාත්‍රයේ ඉතිරි ආහාර තවත් අයට වළඳන්නට සුදුසු මට්ටමේත්
තියෙනවා..භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂු දෙනමට පවසනවා කැමති නම්
ඔබලාට මෙය වළඳන්නට හැකියි..
                                                 එහෙම නැත්නම් තව මොහොතකින් මේ
සියල්ල සතුන්ට ආහාර පිනිස දමනවා..භික්ෂූන් දෙනම කල්පනා කරනවා...
දානය සුදුසු මට්ටමේ තියෙන්නෙ..තවම හිරු අවරට ගිහිනුත් නැහැ..තථාගතයන්
වහන්සේමයි දානය ගන්නට කියන්නෙ...ඉතින් අර පළමු භික්ෂුව කල්පනා
කරනවා..භාග්‍යවතුන් වහන්සේට ලැබුනු පිණ්ඩපාත දානයෙන් උන්වහන්සේ
කුසගින්න නිවාගත්තා..දැන් මේ ඉතිරිටික අපි නොගත්තත් සතුන්ගේ කුසගිනි
නිවීම පිණිස දමනවා..ඒ නිසා මම අද දානයෙන් වැළකිලා ගුණධර්ම පිරීම පිනිස
කුසගින්නේ සිටිනවා..එහෙම හිතලා ඒ භික්ෂුව දානය ප්‍රතික්ෂේප කරනවා...
දෙවන භික්ෂුව කල්පනා කරනවා..භාග්‍යවතුන් වහන්සේ දානය ගෙන අහවරයි.
කොහොමටත් මේ ඉතිරි ආහාර සතුන්ට දමනවා..ඒ නිසා මේ ආහාර මම
පිලිගෙන කුසගින්න නිවාගන්නවා කියා..
පින්වත් මහණෙනි...අර දානය ප්‍රතික්ෂේප කල පළමු භික්ෂුව මා විසින් අතිශයින්
පිදිය යුත්තේද ප්‍රශංසාකල යුත්තේද වෙනවා..එයට හේතුව ඒ භික්ෂුව කල්පනා
කරනවා මේ ආහාරය ආමිසයක්...කුසගිනි ඉවසා සිටීම කෙලෙස් තැවීමක්..
ඔව්..එය ඇත්තයි..ඒ ආහාරය නොගැනීම ඒ භික්ෂුවට බොහෝ කාලයක් හිතසුව
පිණිස පවතිනවා..ස්වල්ප ආශා ඇති බව..ලද දෙයින් සතුටුවීම..කෙලෙස් තැවීම
පහසුවෙන් පෝෂණය කල හැකි බව..පටන්ගත් වීරිය ඇතිබව..පිණිසම පවතිනවා..

අපිද ආමිසය තුලයි වාසය කරන්නෙ...ආමිසය තුලත් අපි හොයන්නෙ සැපයමයි.
කෙලෙස්මයි උපදවාගන්නෙ...යමෙකුට පුලුවන් නම් කුසගින්න නින්ද සුඛ විහරණය
එක දවසකට එක වේලකට ඉවසන්නට..ගුණයක් වඩන්නට...
එවැනි ගුණයන් වඩනනට අපොහොසත් වීම තුල සිතේ ස්වභාවය පහසුවෙන්
හඳුනාගන්නට ලැබෙන්නෙ නැහැ...
මේ විධියට හිතේ තිබෙන කෙලෙස් පසුබිම හඳුනාගනිමු..
මෝහය නිසා ලෝභය(රාග) ඇතිවෙනවා..ආමිසය කෙරෙහිම..
මෙතැන අපි ආමිසය යන්න අපේ ජීවිත අපේක්ෂාවන් අපි රැස්කරන දේවල්
සහ මමය මගේය කියා තදින් අල්ලාගත් දේවල් ගැන හිතමු..ඒවා කෙරෙහි
අපි ලෝභ(රාග) සහිත වෙලා ඉන්නෙ..
මේවා අපට නැතිවෙනකොට අහිමි වෙනකොට වෙනත් අයට හිමිවෙනකොට
හෝ එසේ වේ යැයි සිතිවිලි පහලකරන කොට ද්වේශය ඇති වෙනවා...එම
ද්වේශය ක්‍රමයෙන් ක්‍රෝධය බවට පත්වෙනවා...එම ක්‍රෝධය ක්‍රමයෙන්
උපනාහය (වෛරය) බවට පත්වෙනවා..ඒ උපනාහය මක්ඛ (ගුණමකුකම)
බවටත් එම ගුණමකුකම පලාසය(තමාට වඩා ගුණ නුවණින් උසස් අය හා
තමාද සමාණයි කියා ගැනීම) ඇතිවෙනවා..ඒ සමකොට සිතීම තුල ඉස්සා
හෙවත් ඊර්ෂියාව ඇති වෙනවා..මච්ඡරිය නම් මසුරු කමද ඇති වෙනවා..
මායා නම් සිතේ ස්වභාවයත්( තමාගේ ඇති අගුණ සැඟවීම) ඇති වෙනවා.
ඊට පස්සෙ කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර උදෙසා ( තමා තුල නැති ගුණ ඇතැයි
කියා අඟවන) සාඨෙය්‍ය ඇති වෙනවා..ඊටපස්සෙ පවට ඇති ලජ්ජාව නැතිවෙලා
භය නැතිවෙලා අහිරික අනොත්තප්ප ඇතිවෙනවා..දෝවචස්සනා (අවවාද
නොපිලිගන්නා) තැනට වැටිලා පාපමිත්තතා(කෙලෙස් පැත්තට බර මිතුරු
ඇසුරට) වැටෙනවා..මේ විධියට හිතේ කෙලෙස් ධර්මයන්ට යටවෙලා තමා
නොදැනුවත්ව සීලවිපත්ති දිට්ඨි විපත්ති මහා අණතුරට ලක්වෙනවා..
බලන්න මේ හිතේ ස්වභාවය තේරුම් ගන්නෙ නැත්නම් නැවත නැවත
සසරට ඇදගෙන වැටෙනවා..
ආමිසය දායාද කොට පිළිසරණ කොට වාසය කලොත් ඔය අනතුර එනවා.
ඒ නිසයි බුදුරජානන් වහන්සේ ධර්මයම දායාද කොට ගෙන පිලිසරණ
කොටගෙන වාසය කරන්නට කිව්වෙ...

රේරුකානේ ඡන්දවිමල ස්වාමින්වහන්සේගේ කෙලෙස් එක්දහස් පණ්සියය
ත්‍රිපිටකයේ මජ්ජිම නිකායේ ධම්ම දායාද සූත්‍රය මේ ලිපිය සඳහා පරිශීලනය
කරනු ලැබුවා..

No comments: