Tuesday, February 14, 2012

අනාගත පදිංචිය


අසා දැනගත් ධර්ම කරුණු ‍යම් විධියකට වටහාගත්තද
ඒ වැටහීම මෙසේ සටහන් කරන්නේ මානයකින් නම්
නෙවෙයි..යමෙකුට මේ සටහන ස්වකීය අවබෝධය
පිණිස හේතුවේවා කියන ‍පිරිසිදු චේතනාව සමගින්.
ඒක මෙහෙම දෙයක්.
අපි  ඇසින් රූපයක් දැකලා ඒ රූපය කෙරෙහි ඇලුනොත්
ගැටුනොත් මුලා උනොත් කූඩුවක් තනාගන්නවා ඒ තුල
ඒ රූපය සමග ජීවිතය ගතකරන්න.කූඩුව කියන වචන
අර්ථය හරි වැදගත් වෙනවා.කූඩුව හෙවත් කැදැල්ල
අවශ්‍ය වෙන්නෙ  නවාතැන් ගන්න.නතරව ඉන්න.
ජීවිතය ගෙවන්න.ඉතින් යම් රූපයක් දැකලා ඒ 
රූපය සමග නවාතැන් ගන්න කූඩුවක් කැදැල්ලක්
හැදුවොත් මොකද වෙන්නෙ??ඒ තුල පදිංචි වෙනවා
නේද යම් කාලයකට.ඒ අතරතුර මැරුනොත්??
හිත කොහේද?නාමරූප කොහේද?අර කැදැල්ල තුල
නේද?එහෙනම් කූඩුව කැදැල්ල කියලා මම අදහස් කල
දෙය ඔබට වැ‍ටහෙනවා ඇති භවය කියලා.භවය සකස්
උනා නම් ඉපදෙනවා..ඒකට පටිච්ඡ සමුප්පාදයේ 
පෙලගස්සනවා භව පච්චයා ජාති කියලා.ඉපදීමට මූලික
වන මූලහේතුව භවය උනත් භවය සකස් කරන්නේ අන්
කිසිවකින් නෙවෙයි අවිද්‍යා තන්හා දෙකෙනුයි.නොදන්නා
කම නිසා යමකට ඇලුනොත් බැඳුනොත් ඒ නිසාම
භවය සකස් වෙලා ජාතිය හටගන්නවා..
කනෙන් ශබ්දයක් අහලා..නාසයෙන් ගඳසුවඳ විඳලා
දිවෙන් රසය ලබලා..කයෙන් පහස විඳලා..
මනසින් සිතිවිලි සිතලා මෙහෙම කූඩුතනමින් ඒ කූඩු
තනන්නට විවිධවූ කායික මානසික ක්‍රියා කරමින් ඒ 
කූඩු ඔපමට්ටම් කරමින් සිටීම තමයි ජීවිතය කියන්නෙ.
අතීතයේ සාදාගත් කැදැල්ලේ හිඳිමින් අපි අනාගත 
කැදැලි හදමින් සිටින්නේ..ඒක එක මොහොතකටවත්
නතරවෙන්නේ නැහැ.අතීතය කියන අන්තයේ කූඩු හදනවා.
අනාගතය කියන අන්තයේ කූඩු හදනවා..අතීත කූඩු 
අනාගතයට ගෙනයනවා..අනාගතයේ කූඩු අතීතයේ 
තිබුනානම් කියා එතැනට යනවා..
තන්හාවට තවතවත් දාසයෙක් වෙමිනුයි මෙහෙම කරන්නෙ.
යමෙක් අතීත කියන අන්තයෙන් මිදිලා අනාගතය කියන
අන්තයෙනුත් මිදිලා මේ ගතවෙන ක්ෂණය දිහා සිහියෙන්
බැලුවොත් එයාට පෙනෙනවා කූඩු තනන්නෙක් නැහැ කියලා.
එයාට පෙනෙන්න ගන්නවා මෙතන තියෙන්නේ ආශ්‍රව ධර්මයන්
සහ කර්ම(ක්‍රියා)පමණයි කියා.අකාශ ධාතුව තුල 
සතරමහා ධාතූන්ගේ සහ ශුද්ධාස්ඨක වල චලනයක් පමණයි
මේ ඇවිදීම නිදීම හිඳගැනීම යෑම් ඒම් වැඩකිරීම් ආදී සකලවිධි 
ක්‍රියාවන්ම.එවිට එය කරන්නෙක් නැහැ කියලා වැටහෙනවා..
ඒ වැටහීම තුල තියෙන්නේ දැනගැනීමක් පමණයි.දැනගන්නෙක්
නැහැ.

Monday, February 13, 2012

නියම බුද්ධ වචන අසමු


බුද්ධ දේශනා

මේ මෑත දවසක මගේ හිතවත් මල්ලි කෙනෙකුට මම ධර්ම දේශනා කිහිපයක්
යවා එයාගෙන් ඉල්ලීමක් කලා අපේ අහවල් මිත්‍රයාටත් මේ දේශනා අහන්න
දෙන්න කියලා.ඒ මල්ලි ගත් කටටම කිව්වෙ අයියේ මම මේ දේශනා ටික
බුද්ධ ගෞරවයෙන් යුක්තව අහන්නම් ඒත් එයාටනම් දෙන්න හිත නැහැ
හේතුව එයාලා යන තැන(ලංකාවේ සෑමතැනකටම ව්‍යාප්ත නිකායක්)
කියන්නෙ වෙන කාගෙවත් දේශනා අහන්න එපා කියලනෙ කියලා..
ඉතින් මම නිහඬව හිටියා..
අපි බුද්ධ  ශ්‍රාවකයො මිසක් එක් එක් පුද්ගලයාගේ අනුගාමිකයො නෙවෙයි
මල්ලි කියල මම ඒ සොයුරාට කිව්වා..බුදුරජාණන් වහන්සේ ජීවමානව
වැඩසිටි කාලයේ පවා මහරහතන් වහන්සේලා පවා ධර්මය දේශනා කලා.
නමුත් උන්වහන්සේලාවත් කාටවත් වදාලේ නැහැ තමන්ගෙ අනුගාමිකයො
වෙන්න කියලා..හැම දෙනාම බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයො
මිසක් එක් එක් පුද්ගලයන්ගේ අනුගාමිකයො නෙවෙයිනෙ..
හැමටම හිතසුව පිණිස..මානය රහිතව...බුදුන් වදාල පිරිසිදු ධර්මය
අහන්නට කැමති ශ්‍රද්ධාසම්පන්න අයට මා මෙම ධර්ම දේශනා සහිත
link කිහිපය සඳහන් කරන්නේ මේ ධර්ම දේශනා නිසා අද දින
මම අත්විඳින අනන්ත සුවය පෙන්වා දෙන්නටයි..කිසිම පුද්ගලයෙක්
උපාදාන කරගෙන නැති විවෘත මනසක් සහිත අයෙකුට නම් මේ ධර්ම දේශනා
අප්‍රමාණ සැනසීමක් ගෙනදේවි.
හැමට තෙරුවන් සරණයි..
මෙන්න ඒ ධර්ම දේශනා සහිත අඩවි කිහිපයක්
පූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමිපාදයන් වහන්සේ
පූජ්‍ය මංකඩවල සුදස්සන ස්වාමිපාදයන් වහන්සේ
පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමිපාදයන් වහන්සේ






Tuesday, December 20, 2011

අපේ හැටි



අපේ හැටි
සම්මුතියේ මම යැයි ගන්නා සත්ත්වයා ගැන ටිකක් විතර
මෙනෙහි කරනතොට අත්තානං උපමං කත්වා කියන බුද්ධ
වචනය අනුව කල්පනා කර බලන විට මම කොහොමද මේ
සම්මුති ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ කියා නුවණින්
දැක ගන්න පුලුවන්..නුවණින් දැකීම කියන්නේ යථා පරිදි
යථා ස්වභාවය දකින එක හෙවත් යෝණිසෝ මණසිකාරය
කරන එකනෙ..
         මම යැයි කියන තැන දෘෂ්ඨිගත ගතවීම තුල සිටින්නේ
පෘතග්ජන ස්වරූපයමයි..ඒ සම්මුතියේ සිට කල්පනා කර
බලන විට මට යම් කායික මාණසික දුකක් වෙහෙසක් පාලුවක්
කාන්සියක් දැනෙන විට මම මොකද කරන්නේ කියා කල්පනා
කරන්නට වටිනවා..මම කරන්නේ යම් ආශ්වාදයක් සොයන
එකනෙ..එහෙනම් මම වටහාගෙන නැහැ ආශ්වාදය අනිත්‍ය
දෙයක් බව..ඒ නිසානෙ අපි කියන්නෙ ඊයෙ නම් ප්‍රිය
සම්භාෂණයකට ගියා සතුටින් හිටියා ඒත් අද මොකද කරන්නෙ
අදනම් හරිම පාලුයි..කිසි ගතියක් නැහැ..කියලා....
ඒ කියන්නෙ ආශ්වාදය අනිත්‍ය වෙලා ගියා..නැවතත් හොයන්නෙ
අනිත්‍ය වෙලා යන දෙයක්මයි තමන්ගෙ ආත්මය හැටියට පවත්වන්න..
එහෙනම් අනිත්‍ය වෙලා ගිය දෙය තුල ලැබුනෙ තාවකාලික
ආශ්වාදයක් සහ දුකක් පමණයි..
                ආශ්වාදය සොයන්නට තියෙන්නේ ස්ථාන පහක
විතරයි..වෙන කොහේවත් නැහැ..මොනවද ඒ ස්ථාන??
ඔබ දන්නවා ආයතන හය ගැන..ඇස-රූප  කණ-ශබ්ද
නාසය-ගඳසුවඳ  දිව-රසය  කය-පහස මෙන්න මේවානෙ ඒ
ස්ථාන...එහෙම නැත්නම් අතීත අනාගත අරමුණු පිළිබඳ
සතුට ගෙනෙන මනස..
            දැන් මේ ස්ථාන වලින් ආශ්වාදය හොයන්නත් ලේසි
නැහැ..ඇයි??ඒවා පහසුවෙන් අත්පත් කරගන්න පුලුවන් දේ
නෙවෙයිනෙ..රූප බලන්න ශබ්ද අහන්න සුවඳ විඳින්න රස
බලන්න පහස විඳින්න යම් මිලක් මුදලක් කාලයක් ශ්‍රමයක්
වැය කරන්න වෙනවා..
            ඒ නිසානෙ අපි අපේ රටෙන් පවා ඈත් වෙලා ඈත
නුහුරු නුපුරුදු රට රාජ්‍යවලට පවා ගිහින් රැකියා හොයාගෙන
දහසක් දුක්කම්කටොලු විඳගෙන යමක් හොයන්න පෙළඹෙන්නෙ..
ආශ්වාදය හොයන්න නෙවෙයි නම් ලද දෙයින් සතුටු වෙන්න නම්
සරල ජීවිතය සෑහෙනවා..ඒත් තන්හාව දිට්ඨිය මානය සහිත
පෘතග්ජන සිතකට ඒක සෑහෙන්නෙ නැහැ කොහොමත්..ඒ නිසා
සැප විඳින්න හිතාගෙන විඳින්නෙ දුකක් නේද??නමුත් ඒක දුකක්
කියා තේරුම් ගන්න සංඛ්‍යාව අල්පයි..
      මෙන්න මෙතනට ආවාම මම මේ බ්ලොග් ලිපිය ආරම්භ කල
තැනටම නැවත යන්න වෙනවා..ඒ වැකිය නැවත සඳහන් කලොත්
මෙහෙමයි..යම් කායික මාණසික දුකක් වෙහෙසක් පාලුවක්
කාන්සියක් දැනෙන විට මම මොකද කරන්නේ කියා කල්පනා
කරන්නට වටිනවා..මම කරන්නේ යම් ආශ්වාදයක් සොයන
එකනෙ..එහෙනම් මම වටහාගෙන නැහැ ආශ්වාදය අනිත්‍ය 
දෙයක් බව..
       ඔන්න ඔතැනදි ආශ්වාදය අනිත්‍ය වී යාම දුකක් මෙන්ම
නැවත ආශ්වාදය සෙවීමත් දුකක් කියන කාරණය අපට දැනෙනවා
නම් මොකක්ද එහි ඇත්ත තත්වය??
      වෙහෙසක් මහන්සියක් දැනෙන විට අපි ආශ්වාදය කියා
සොයන්නෙත් තවත් එවැනිම වූ වෙහෙස මහන්සියක් විතරයි
කියා දැනෙනවද??නිරායාසයෙන් ලැබෙන දෙයක් නැති නිසා
ඒ ගන්නා අයාසයම දුකක් නේද??එහෙනම් මේ සමීකරණය
කෙටි කරලා කිව්වොත් දුක දුකටම හේතු සකස් කරනවා කියා
නේද දක්වන්නට හැකිවෙන්නෙ...
          ඉෂ්ඨකාන්ත මනාප රූප..ඉෂ්ඨකාන්ත මනාප ශබ්ද
ඉෂ්ඨකාන්ත මනාප ගන්ධ..ඉෂ්ඨකාන්ත මනාප රස.....
ඉෂ්ඨකාන්ත මනාප පහස..ඉෂ්ඨකාන්ත මනාප සිතිවිලි අරමුණු
මේවායේ ඉෂ්ඨකාන්ත මනාප ස්වරූපය පවතින්නේ හරියට රෑ
දුටු හීනයක් වගේ තමන්ගේ වසඟයේ පවත්වන්න බැරි විධියට...
තමාගේ කියා නතු කරගත්තත් ඒ කෙතරම් කෙටි කාලයකටද??
එය තමාගේ වසඟයෙන් ගිලිහුනු දාට දුක පාලුව ශෝක වෙහෙස
ආදිය නේද ඉතිරි වෙන්නෙ..ඉතින් එයින් ලැබුනු ආශ්වාදය
හොයන්න විකල්ප මාර්ග දිහා බලනවා..ඒවාට මිල අධිකයි..
ඒ අධික මිල කායිකව මාණසිකව ගෙවන්න වෙහෙස වැඩියි...
එහෙනම් දුක තවත් දුකක් ජනිත කරලා දුක් පරම්පරාවක් ජනනය
කරලා ගලායනවා නේද...
          මේක ණුවණින් දකින්න තරම් පෘතග්ජන මනසකට විවේකය
නැහැ..නාමරූප සන්තතිය වේගයෙන් ගලා යන නිසා ඒ සැඩ පහරට
හසුව ප්‍රවාහය දෙසටම යනවා ඇරෙන්නට පෘතග්ජන මනසට වෙනත්
විකල්පයක් නැහැ..කැමැත්තක් උවමනාවක් වීරියක් ඇත්තේත් නැහැ..
ඇයි?? දුක නොදකින නිසා..දුක සහ දුක හටගැන්ම පෙනෙන්නේ
සැප සහ සැප ලබන මග හැටියට නිසා..
ඒකට තමයි බුද්ධ වචනයේ යෙදෙන්නේ දුක්ඛේ අඥාණං  දුක්ඛ සමුදයේ
අඥාණං  දුක්ඛ නිරොධයෙ අඥානං දුක්ඛ නිරොධගාමිණි පටිපදායෙ 
අඥාණං කියා..ඒ කියන්නෙ අවිද්‍යාව නිසා..
අවිද්‍යාව විද්‍යාව හැටියට ගැනීම නිසයි මේ පටලැවිල්ලට වැටෙන්නෙ..
අපේ හැටි ඔන්න ඔහොමයි...

Saturday, October 22, 2011

වටහා ගැනීම



වටහා ගැනීම
සියල්ල විශ්වයේ සිදුවන ක්‍රියාවන්ය.ධර්මයෙහි ඒවා පුඤ්ඤාභි
සංඛාර..අපුඤ්ඤාභි සංඛාර..ආනෙඤ්ඤාබී සංඛාර ලෙසද
කර්ම ලෙසද හඳුන්වනු ලබනවා..මේවා පුද්ගල සන්තානය
තුල චේතනා මූලික කරගෙන සිත කය වචනයෙන්
 හටගැනීම වෙනුවෙන් අනාගත විපාක ලෙස ආනිශංස සහ ආදීනව
 වශයෙන් සත්ත්වයා වෙත ඉදිරිපත් වී ඒ ඒ අවස්ථාවල සුඛ විපාක
සහ දුක් විපාක වශයෙන් පැමිනෙනවා..
විශ්වයේද ක්‍රියා රාශියක් සිදුවෙමින් පවතිනවා..ඒවා බුදුරජාණන්
වහන්සේ විසින් පඤ්ච නියාම ධර්ම ලෙස හඳුනාගනු ලබනවා...
බීජ නියාමය-ඍතු නියාමය-චිත්ත නියාමය-කම්ම නියාමය
ධම්ම නියාමය ලෙස ඒවා පැමිනෙනවා..
ඒ සියල්ල කැටිකරගත් ධර්මතාවයන් අටක් සත්ත්වයා වෙත
ගලා එනවා..ඒවාට අටලෝ දහම කියා හඳුන්වනවා..
දුක-සැප  නින්දා-ප්‍රශංසා යස-අයස  ලාභ-අලාභ ලෙස ඒවා
වර්ග කර තිබෙනවා..
එයට අමතරව සත්ත්ව සන්තානය තුල කෙලෙස් හටගන්නවා.
කෙලෙස් යනු සිත අපිරිසිදු කරන ශක්ති විශේෂයක්..
කාමරාග- ව්‍යාපාද- උද්දච්ච කුක්කුච්ච-විචිකිච්චා
ථිනමිද්ධ යන පඤ්චනීවරණ මුලිකව කෙලෙස් එක්දහස් පන්සියයක්
ඇතැයි සඳහන් වෙනවා..මේ සියල්ලම හටගන්නෙ රූපස්කන්ධය
ඇසුරු කරගෙන පවතින හිත තුලයි..විඤ්ඤාණයේ කාර්යය තමයි
යමක් දැනගැනීම..දැනගන්නේ ස්පර්ශ වන දෙයයි..ස්පර්ශ උනානම්
වේදනාව සංඥාව චේතනා සිතිවිලි මූලික චෛතසික ධර්මයන්
හටගන්නවා..ඒ සියල්ල එකක් නෑර දැනගන්නේ විඤ්ඤාණයෙන්මයි..
දැනගන්නා දෙය විඳිනවා..විඳින දෙය හඳුනාගන්නවා..විඳීම නිසා
තන්හාව හටගන්නවා..හටගත් තන්හාව තුල එය අභිනන්දනය කරමින්
විඤ්ඤාණය බැසගන්නවා..
බොර වතුර වීදුරුවක් බීමට ගැනීමට නොහැකියි..එහෙත් පිපාසයද
සන්සිඳුවා ගතයුතුයි..කල යුත්තේ කුමක්ද..වතුර වල ස්වභාවය
මුලින්ම වටහාගත යුතුයි..එය යම් දුරුකට පිරිසිදු කරගැනීමට අවශ්‍ය
මානසික ශක්තිය වර්ධනය කරගත යුතුයි..එනම් වතුර පෑදී රොඩු මන්ඩි
පහලට බසින තුරු ඉවසා සිටිය යුතුයි..ඉන්පසුව නොකැලතෙන පරිදි
ප්‍රවේසමෙන් වතුර පානය කල යුතුයි..
ඒ වගේම මේ ලෝක ස්වභාවය මුලින්ම වටහාගත යුතුයි..ඉන්පසුව
දුක ඇතිකරන දුර්ගුණ සහිත ශක්තීන් මැඩගෙන ‍නිසොල්මන්ව සිටීමට
ඉවසීම සහ චිත්ත ඒකග්‍රතාවය වැඩිය යුතුයි..දුක පැමිනෙන ලෝකය
කෙරෙහි ඇති ඇල්ම සහ මුලාව දුරුකල යුතුයි..නොඇල්ම නිසා ඇතිවන
සන්සිඳීම වටහාගත යුතුයි..
 

Saturday, September 3, 2011

සරණාගතයා

          සරණාගතයා
මේ ශරීරය මොන තරම් අසරණද??හරියට සරණාගතයෙක් වගෙයි.

කිසිම දෙයක් ස්වාධීනව කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..කිසිම
විටෙක තනි තීරණයක ඉන්න පුලුවන් දෙයකුත් නෙවෙයි..මෙය
සත්ත්වයෙකුත් නෙවෙයි  පුද්ගලයෙකුත් නෙවෙයි ආත්මයකුත් නෙවෙයි..
ඇයි එහෙම කියන්නෙ??නින්ද ගිය කෙනා  සිහිනැතිවෙච්ච කෙනා
මියගිය කෙනා යන තුන්දෙනාම බොහෝවිට ලෝකයත් සමග ගනුදෙනු
කරන ආකාරය සමානයිනෙ..ඒ කියන්නෙ දාපු තැන දාලා ඉන්නවා
හරියට දරකොටයක් වගේ..හේතුව මොකක්ද??විඤ්ඤාණය නිරුද්ධයි
එහෙම නැත්නම් තාවකාලිකව විඤ්ඤාණය විසන්ධියි..හැඟීම් දැනීම්
චේතනා සිතිවිලි විධාන කිසිවක් නැහැ..හරියට ගහක් ගලක් වගේ..
එහෙනම් මේ ශරීරය මම නෙවෙයි නේද??චේතනා සිතිවිලි විධාන වලින්
මෙහෙයවන රූප පද්ධතියක් සන්තතියක් පමණයි මේ කය කියන්නෙ..
දුක්ඛ ආර්යය සත්‍යය පිළිබඳව යමෙක් මෙහෙම හිතන්න උත්සාහ කලොත්
මේ ආයතන ගැන මනාව වටහාගන්නට පුලුවන්.
මොකක්ද දුක්ඛ ආර්යය සත්‍යය ??
ජාතිපි දුක්ඛා - ඉපදීම දුකයි..මොනවද ඉපදෙන්නේ..ආයතන හයක්
නේද ඉපදුනොත් ඉපදෙන්නෙ..ඊට අමතර මොකුත් ඉපදෙනවද? නැහැ නේද?
ඉපදීම දුක වෙන්නෙ කොහොමද?
ව්‍යාධිපි දුක්ඛා - ලෙඩදුක් හැදීම දුකක්..කොහේටද ලෙඩදුක් හැදෙන්නෙ?
ආයතන හයටමයි නේද ලෙඩදුක් හැදෙන්නේ..ඇහැ ලෙඩ වෙනවා  කන ලෙඩ වෙනවා
නාසය ලෙඩ වෙනවා..දිව(මුඛය ආශ්‍රිතව)ලෙඩවෙනවා..කය ලෙඩ වෙනවා..
මනස ආතූර වෙනවා..ඊලඟට..
ජරාපි දුක්ඛා - වයසට යනවා...අබල දුබල වෙනවා..දුර්වල වෙනවා..
ජරාජීර්ණ ස්වභාවයට පත්වෙනවා..ආයතන හය නේද මේ ඉරනමට ලක් වෙන්නෙ
වෙන මොකුත් නෙවෙයි නෙ??ඊලඟට..
මරණංපි දුක්ඛා - මැරෙනවා..විනාශ වෙනවා..නැති වෙනවා..අහිමි වෙනවා..
මොනවද ..ආයතන එකක් දෙකක් තුනක් හෝ හයම නේද??ඊලඟට..
පියේහි විප්පයොගො දුක්ඛො - කැමති අයගෙන් වෙන් වීම..කැමති අය සිටින්නේ
කොහෙද?? ආයතන හය ඇසුරු කරගෙන නේද??
අප්පියේහි සම්පයොගො දුක්ඛො - අකමැති අය ලැබෙන්නෙත් ආයතන හයෙන්ම නේද?
කැමති දේ නොලැබීම දුකයි..ආයතන හයට ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත දේ නොලැබීම
අකමැති දේ ලැබීම දුකයි...ආයතන හයට දුක් දොම්නස් සහගත දේ ලැබීම
ඊලඟට.. දුකට හේතුව වන දුක්ඛ සමුදය වන තන්හාව හටගන්නෙ කොහෙද??
ඇස නම් ආයතනය මුල් කරගෙන රූප නිසා චක්ඛු විඤ්ඤාණයද  තින්නං සංගති ඵස්සො
නම් ඇසේ ස්පර්ශය නිසා විඳීමද වේදනා පච්චයා තන්හා ඇතිවිම සිදුවෙනවා..එහෙනම
තන්හාව ඇති වෙන්නෙත් ආයතන හය (බාහිර ආයතන සමග) නිසාම නේද??
මේ අයුරින්ම කන-ශබ්දය...නාසය-ගඳසුවඳ..දිව-රසය..කය-පහස
මනස-අරමුණු ඇසුරින් තන්හාව ඇතිවන අයුරු කෙනෙකුට විදර්ශනා කරන්න පුලුවන්..
මේ විධියට පටිච්ච සමුප්පාදය සකස් වෙමින් උපාදාන භව ජාති ජරා මරණ දක්වා මේ
සලායතනයන් දිවයන අයුරු දක්නට පුලුවන්..
පටිච්ච සමුප්පාදය ඇති වෙනවා නම් මේ ආයතනයන් නිපදවන්නේ සකස් කරන්නේ මොනවද?
බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා සංඛිත්තෙන පඤ්චඋපාදානස්කන්ධා දුක්ඛා කියලා
එහෙනම් පඤ්චඋපාදානස්කන්ධය හටගන්නේ කොහේද??ආයතන මුල් කරගෙන ඇසේ..
කනේ..නාසයේ..දිවේ..කයේ..මනසේ...නේද??
දැන් මේ මුලු ක්‍රියාවලිය පුරාම කරන්නෙක් කරවන්නෙක් විඳින්නෙක් විඳවන්නෙක් සත්ත්වයෙක්
පුද්ගලයෙක් ආත්මයක් නැහැ කියලා යමෙක් නුවණින් දකිනවා නම් එයා දහම් ඇස පහළ
කරගන්නා කෙනෙක් වෙනවා..
සාධු සාධු සාධු..ඔබ සැමත් දහම් ඇස පහළකරගන්නා අය වෙත්වා..

Thursday, September 1, 2011

                                                             අලුත් ඇස

කම්මස්ස කාරකො නත්ථි - විපාකස්සච වේදකො
සුද්ධ ධම්මා පවත්තන්ති   - එවෙතං සම්ම දස්සනං...

මේ බුද්ධ වචනය ඇසූ කල්හි අඳුර විනිවිද දැකිය හැකි අලුත් ඇසක් 
ලැබුනා යැයි යම් අයෙකුට දැනුනොත් ඒකාන්තයෙන්ම ඔහු 
භාග්‍යවන්තයෙක් බවට පත්වෙනවා..මේ ගාථාව අනුව ඔහු දකිනවා
කර්ම කරන්නෙක් නැහැ කියලා..විපාක විඳින අයෙක් නැහැ කියලා..
ශුද්ධ වූ පඤ්චස්කන්ධ ධර්මයන් පමණයි පවතින්නෙ..ඒ පඤ්චස්කන්ධ
ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ඒවා තන්හා දිට්ඨි මාන වශයෙන් උපාදානවීම
සහ ඒ හා බැඳුනු ක්‍රියාවලිය දකින ඒ අලුත් ඇස නිසා විදසුන් නුවණ සමග
යහපත් දෘෂ්ඨියක් පහළ වෙනවා..ඒ දෘෂ්ඨිය තුල තිබෙන්නේ සම්මුතිය
ඉක්මවූ පරමාර්ථ සත්‍යය හෙවත් යථාස්වභාවයයි...

සතර මහා ධාතූන්ගෙන් හටගත් ශරීරය මුල් කරගෙන යමෙකුට පහළවන
මම මගේ   මගේ ආත්මය යන හැඟීම නිසා දුක හටගන්නවා..මක්නිසාද
යත් එය දැඩිව සිතින් අල්ලාගැනීම නිසාය..එවිට සියලු ක්‍රියා සිදුකරන
මම කියා යමෙක් සිටිනවා කියන මුලාවට පැමිණෙනවා.මගේ ආත්මය ලෙස
මේ සිරුර ගැන සලකන්නට පටන් ගත් මොහොතේ සිට මේ සිරුර තමන් 
කැමති විධියට පවත්වන්නට ඔහු නොයෙක් උත්සාහයන් ගන්නවා..ඒ සියලු
උත්සාහයන් ක්‍රියා හෙවත් කර්ම ලෙස සැලකෙනවා..මේවා චේතනා සිතිවිලි
මූලිකව කෙරෙන ක්‍රියාවන්.ඒ නිසා ඒවාට ඊට අනුරූපී විපාකද තියෙනවා..

රූපස්කන්ධය රූප ගොඩක එක්වීමක්..ආයතන හයක් මූලික කරගෙන මේ 
රූපස්කන්ධය පවතිනවා..ඇස කණ නාසය දිව කය මණස ඒ ආයතනයන්.
ඒවාට ගෝචරවන විෂයය වන රූප ශබ්ද ගන්ධ  රස පොට්ඨබ්බ(පහස)මනෝ
මූලික ධම්ම(අරමුනු)නිසා ලෝකය නිර්මානය වෙනවා..ඒ නිර්මාණය වූ 
ලෝකය වෙතින් ආශ්වාදය ලබන්නට ආශ්වාදය පතන්නට පෙළඹෙනවා..
එසේ පෙළඹෙන සත්ත්වයෙක් පුද්ගලයෙක් සත්‍යය වශයෙන් නොපැවතියත්
ඒ ඒ අරමුනු තුල බැසගෙන ඒ ඒ අරමුණු (අභිවදති)අගය කරන (අභිනන්දති)
වර්ණනා කරන (අඣොසාය තිට්ඨති) ඒ තුල බැසගන්නා අවිද්‍යා තන්හා 
මූලික විඤ්ඤාණය නැතහොත් සිත මම යැයි කියා..මගේ යැයි කියා..මගේ
ආත්මය යැයි කියා මේ සියල්ල බදා වැළඳගන්නවා..ඒ නිසා නැවත පෝෂණය
වන විපුල බවට පැමිණෙන අවිද්‍යා මූලික තන්හාව නැවත නැවත ඒ අරමුණු තුලම
උපදිමින්(පොනොභවිකා) ඒවා ආශ්වාදනය කරමින්(නන්දිරාග සහගතා)
ඒ ඒ තැන් සතුටින් පිළිගනු ලබනවා(තත්‍රතත්‍රාභි නන්දනි). 
අන්න පඤ්චස්කන්ධ ධර්මයන් උපාදානස්කන්ධ ධර්මයන් බවට පෙරලාගෙන
මමය මගේය මගේ ආත්මයය ලෙසින් පවත්වන්නට පටන් ගන්නවා..

එලෙස පැවැත්වීම කර්මපථයට ඇද වැටෙනවා..රූපය වේදනාව සංඥාව සංඛාරය
විඤ්ඤාණය පැවැත්වීම නිසා දසඅකුසල් කරනවා..දස කුසල් කරනවා..
පින් කරනවා..පව් කරනවා..මේවා සියල්ල ක්‍රියා හෙවත් කර්ම බවට පෙල
ගැසෙනවා..ඒවාට අනුරූපී  විපාක ඒ අනුවම පෙල ගැසෙනවා..
මනසාචෙ පසන්නෙන භාසතිවා කරොතිවා සහ මනසාචෙ පදුට්ඨේන 
භාසතිවා කරොතිවා කියා ඒවා දෙකොටසකට බෙදෙනවා..එවිට ඒවාට අනුරූපී
විපාක චක්කං ව වහතො පදං සහ ඡායාව අනපායිනි ලෙස නැවත පඤ්චස්කන්ධ
ධර්මයන් ගොඩනගනවා..සත්ත්වයෙක් පුද්ගලයෙක් රහිතව මේ විශ්ව 
ක්‍රියාවලිය අවිද්‍යා තන්හා දෙක පවතින තුරු අඛන්ඩව පවතිනවා..

මේ පඤ්චස්කන්ධ ධර්මයන් කෙරෙන් සහ  ආයතනික වශයෙන් ගොඩනගන ලද 
ලෝකය කෙරෙන් මිදී  එහි ඇල්ම දුරු කරයිද..ආහාර ප්‍රත්‍යය නැති කරයිද
විඤ්ඤාණයාගේ නැවත හටගැනීමක් නැති කරයිද අන්න එදාට පඤ්චස්කන්ධ
ධර්මයන් නැවත ඉපදීම නතර වෙනවා...එවිට දුක සන්සිඳෙනවා..දුරු
වෙනවා..නිවන නම් ශාන්ත පදයට පැමිණෙනවා..

Wednesday, May 18, 2011

ජයන්තගේ අවකාශය - සෝවාන් කෙනා ගැන

‍සෝතාපන්න කෙනා යනු කවරෙක්ද ඒ කෙනාගේ
අභ්‍යන්තරික ලක්ෂණ මොනවාදැයි බුද්ධ දේශනාව
අනුව විමසා බැලීමක් මේ කරන්න හදන්නෙ...
අංගුත්තර නිකායේ ඒක නිපාතයේ අට්ඨාන වග්ගයේ
ඒ පිළිබඳව විස්තර සඳහන් වෙනවා..
පින්වත් මහණෙනි..මාර්ග දෘෂ්ඨියෙන් යුක්ත සෝවන්
පුද්ගලයා කිසිම හේතුවක් නිසාවත් කිනම් හෝ සංස්කාර
ධර්මයක් නිත්‍ය වශයෙන් සලකන්නෙ නැහැ..පෘතග්ජන
කෙනා නම් සංස්කාර ධර්මයන් නිත්‍ය වශයෙන් සලකනවා.
පින්වත් මහණෙනි..මාර්ග දෘෂ්ඨියෙන් යුක්ත සෝවන්
පුද්ගලයා කිසිම හේතුවක් නිසාවත් කිනම් හෝ සංස්කාර
ධර්මයක් හෝ සැප වශයෙන් සලකන්නෙ නැහැ..
පෘතග්ජන කෙනා නම් සංස්කාර ධර්මයන් සැප වශයෙන්
සලකනවා..
පින්වත් මහණෙනි..මාර්ග දෘෂ්ඨියෙන් යුක්ත සෝවන්
පුද්ගලයා කිසිම හේතුවක් නිසාවත් කිනම් හෝ සංස්කාර
ධර්මයක් ආත්ම වශයෙන්(තමාට කැමති අයුරින් පවත්වන්න
හැකිය යනුවෙන්)සලකන්නෙ නැහැ..පෘතග්ජන කෙනා නම්
සංස්කාර ධර්මයන් තමන්ට කැමති විධියට පවත්වන්නට 
හැකිය යන දෘෂ්ඨියේ ඉන්නෙ..
පින්වත් මහණෙනි..මාර්ග දෘෂ්ඨියෙන් යුක්ත සෝවන්
පුද්ගලයා කිසිම හේතුවක් නිසාවත් තම මව මරණයට පත්
කරන්නෙ නැහැ..පෘතග්ජන කෙනා අතින් නම් ඒ දේ 
සිද්ධ වෙන්න පුලුවන්..
පින්වත් මහණෙනි..මාර්ග දෘෂ්ඨියෙන් යුක්ත සෝවන්
පුද්ගලයා කිසිම හේතුවක් නිසාවත් තමාගේ පියා මරණයට
පත්කරන්නෙ නැහැ..පෘතග්ජන කෙනා අතින් නම් ඒ දේ
සිදුවෙන්න පුලුවන්..
පින්වත් මහණෙනි..මාර්ග දෘෂ්ඨියෙන් යුක්ත සෝවන්
පුද්ගලයා කිසිම හේතුවක් නිසාවත් රහතන් වහන්සේ නමකගේ
ජීවිතය විනාශ කරන්නෙ නැහැ..පෘතග්ජන කෙනා අතින් නම්
ඒ දේ සිදුවෙන්නට පුලුවන්..
පින්වත් මහණෙනි..මාර්ග දෘෂ්ඨියෙන් යුක්ත සෝවන්
පුද්ගලයා කිසිම හේතුවක් නිසාවත් තථාගතයන් වහන්සේ ගේ
ශරීරයේ ලේ දුෂ්ඨ සිතින් සොලවන්නෙ නැහැ..පෘතග්ජන කෙනා
අතින් නම් ඒ දේ සිදුවිය හැකියි..
පින්වත් මහණෙනි..මාර්ග දෘෂ්ඨියෙන් යුක්ත සෝවන්
පුද්ගලයා කිසිම හේතුවක් නිසාවත් සංඝ භේදය සිදුකරන්නේ නැහැ.
පෘතග්ජනයා අතින් එහෙම වෙන්න පුලුවන්..

සෝතාපන්න කෙනා ශීලයෙන් සම්පූර්ණයි..ශ්‍රද්ධාව නො‍සෙල්වෙන
අචල සද්ධාවකින් යුක්තයි..බුද්ධාදී අටතැන් ගැන කිසිදු සැකයක් 
එයාට නැහැ..එයා මේ ශ්‍රී සද්ධර්ම මාර්ගය ධම්මානුධම්ම පටිපදාව
හැර අන් සරණක්..අන් මාර්ගයක්..අන් ශාස්තෲන් කෙනෙක්
සරණ යන්නෙ නැහැ..එයා ආමිසයට වඩා මුල්තැන දෙන්නේ 
ප්‍රතිපත්ති පූරණයටයි..එයා සම්මා දිට්ඨියට පත් කෙනෙක්..
සෝතාපන්න කෙනා යනු විදුරවිය හෙවත් විදුලිය කෙටීම් ආලෝකයෙන්
රන් බඳුනක් දැකගන්නවා සේ නිවන දැකගත් කෙනෙක්...